ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ අධි ආරක්‍ෂිත කලාපයක පිහිටි යාපනය වලිකාමම්හි ශ්‍රී රාජ රාජේස්වරී අම්මන් කෝවිලට ගමන් ගන්නා සාම්ප්‍රදායික මාර්ගය අවහිර කරගෙන සිටින යුද හමුදාව විකල්ප මාර්ගක් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් තුළ තව දුරටත් රැදී සිටීමේ අරමුණින් බවයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි යුද හමුදාව වාඩිලා සිටින දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් හරහා ශ්‍රී රාජ රාජේස්වරී අම්මාන් කෝවිලට ගමන් කිරීම වෙනුවෙන් යුද හමුදාව විසින් පාදා තිබු මාර්ගයක් පුළුල් කිරීමට ගත් උත්සාහයක් ප්‍රදේශවාසී ජනතාවගෙන් එල්ල වු විරෝධය හමුවේ පෙබරවාරි 16 වැනිදා යුද හමුදාව විසින් අත් හැර දමා ඇත.
ශ්‍රී රාජ රාජේස්වරී අම්මාන් කෝවිල හා ඒ අවට භුමිය 1990 වසරේ ජුනි 15 වැනි දින අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 2002 මැයි මාසයේ සිට විශේෂ අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව පමණක් කෝවිල් යාමේ ඉඩකඩ කිහිප දෙනකුට ලැබී තිබේ.
යුද්ධය උත්සන්න වීමත් සමග 2006 ජුනි මාසය වනවිට බැතිමතුන්ගේ ගමන ඇනහිටී අතර යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරියක වු විජයකලා මහේෂ්වරන් අවුරුදු නමයකට පසු පළමු වතාවට ඔවුන් සමග කෝවිල් ගොස් තිබේ.
2015 පෙබරවාරි 3 දාට යෙදුනු මහා ශිවරාත්‍රියේදී සිට හමුදා අවසර ලබාගත් අයට පමණක් කෝවිලට යාමට ඉඩ ලැබුණු බව ශ්‍රී රාජ රාජේස්වරී අම්මන් භාරකාර මණ්ඩලය පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය පැවති 2023 ජුනි 24 වැනිදා උතුරේ ඉඩම් අක්කර 234 ක් නිදහස් කිරීමට සමගාමීව විශේෂ දින වලදී එම කෝවිල වන්දනාමාන කර ගැනිමට යලිත් වරක් හින්දු භක්තිකයන්ට අවසර දී තිබුනි. එයද උදේ හයේ සිට සවස හය දක්වා පමණි.
එහිදී කෝවිලට ගමන් ගන්නා සාම්ප්‍රදායික මාර්ගයේ වාඩිලා සිටින යුද හමුදාව මුදා හරින ලද භුමියේ ගොවිබිම් ද ඇතුළු දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් උඩින් පාරක් කපා ඇති බව පළාතේ මහජන නියෝජිතයෝ අවධාරණය කරති.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභා සභාපති සෝමසුන්දරම් සුගීර්දන් පවසන්නේ කෝවිල කරා වන සාම්ප්‍රදායික මාර්ගය සහ ඒ අවට ඉඩම් අක්කර ගණනක් තවමත් යුද හමුදාව සිය පාලනය යටතේ තබාගෙන සිටින අතර දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් හරහා කෝවිලට යන තාවකාලික මාර්ගය ස්ථිර මාර්ගයක් බවට පත් කිරීමේ අරමුණින් පෙබරවාරි 16 වැනිදා වැඩ කටයුතු ආරම්භ කළ යුද හමුදාව ප්‍රදේශවාසීන් දැක්වූ විරෝධය හමුවේ එය නවතා දැමු බවයි.
ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ යුද හමුදා ගරාජය එම ස්ථානයෙන් වහාම ඉවත් කර හින්දු බැතිමතුන්ට ශ්‍රී රාජ රාජේස්වරී අම්මාන් කෝවිල කරා යන පැරණි මාර්ගයම විවෘත කර වන්දනාමානයට පනවා ඇති බාධා ඉවත් කරන ලෙසයි.
වලිකාමම් උතුර ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුබ්‍රමනියම් රෝෂාන්ත් කුමාර් ද මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ දෙමළ ජනයාගේ වගා භුමි හරහා යුද හමුදාව ඉදි කර තිබෙන තාවකාලික මාර්ගය වෙනුවට කෝවිලට ගමන් ගන්නා පැරණි මාර්ගය නිදහස් කරන ලෙස තමන්ද ඉල්ලා සිටින බවයි.
“මිනිස්සුන්ගේ ඉඩම්වලින් භාගයක්ම හමුදාව යටත තියෙන්නේ. මෙයාලා මේ ගොවිබිම් මැදින් පාරක් දාලා, ආයේ ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ට යන්න දෙනවා කියන්නේ, ඒ කෝවිලට යන පරණ පාර නිදහස් නොකර ඉන්න කරන උත්සාහයක්. ඒ කියන්නේ මේගොල්ලෝ පාර වෙනස් කරනවා. මේ තාවකාලික පාර දාන්නයි හදන්නේ. ඒත් මිනිස්සු ඉල්ලන්නේ පරණ පාරමයි. පරණ පාර අනිවාර්යයෙන්ම නිදහස් කරන්න ඕනේ.”
යුද හමුදාව කපා ඇති පාර නිසා ඇතැම් පුද්ගලික ඉඩම් දෙකඩ වී ඇති බව පවසන මහජන නියෝජිතයෝ එම තාවකාලික මාර්ගය ස්ථාවර වුවහොත් බිම් අයිතිය සදහටම අහිමි වී යාමේ අවදානම ගැන බිය පල කරති.





