කැනඩාව, බ්‍රිතාන්‍යය, මලාවි රාජ්‍යය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනේග්‍රෝ (ශ්‍රී ලංකාව සම්බන්ධ Core Group එක) ඒ බව පවසන්නේ, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 61 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්.
ඕනෑම ත්‍රස්ත විරෝධී නීතියක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම්වලට අනුගත විය යුතු බවත් අවධාරණය කරන එම රටවල නිවේදනය, ත්‍රස්ත විරෝධී පනත අවලංගු කරන තුරු එය භාවිතයට නොගත යුතු බවත් සඳහන් කරනවා.
යුරෝපා සංගමය විසින් ලබා දීල තියන GSP+ තීරු බදු සහනය යළිත් දීර්ඝ කරගන්න නම් රටේ මානව හිමිකම් වාතාවරණය යහපත් තත්වයක තිබීම අත්‍යවශ්‍ය සාධකයක්. අපි දැක්ක පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ වෙලාවේ ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් හමුවුණ ජනාධිපති අනුර, GSP+ තීරු බදු සහනය දීර්ඝ කරගන්න උපකාර කරන්න කියලත් ඔහුගෙන් ඉල්ලීමක් කරලා තිබුණ. පැහැදිලිවම එතෙන්දි යුරෝපා සංගමය මේ වගේ කරුණු ගැනත් අවධානය යොමු කරාවි.
ඇත්තටම ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනවා කියල බලයට ආපු, PTA එකෙන් වැඩියම බැට කාපු පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ දැන් ඒ පොරොන්දුව කුණු කූඩෙට දාල ඊටත් වඩා මර්දනකාරී පනතක් ගේන්න හදන එක හරිම කණගාටුදායකයි.
ලංකාවේ අවුරුදු තිහක යුද්ධයක් තිබුණෙත්, රට පුරාම මරාගෙන මැරෙන බෝම්බ පිපිරුවෙත්, මර්දනකාරී ආණ්ඩු උතුරේත් දකුණෙත් තරුණයෝ අතුරුදහන් කෙරුවෙත්, දකුණේ තරුණයෝ ටයර් සෑයේ දැවුණෙත්, සුදු වෑන් ආවෙත්, පාස්කු ප්‍රහාරය එල්ල වුණෙත් ඔය ත්‍රස්ත විරෝධී නීතිය තියෙද්දී තමයි.
කොටින්ම අලුත් පනතක් අවශ්‍ය නෑ. PTA එක අහෝසි කරලම දාන්න.
සංහිඳියාව සහ නීතිපති
PTA ගැන කියන ගමන්ම Sri Lanka Core Group එක ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරන්න ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව අරගෙන තියන සාධනීය පියවරත් අගය කරලා තියෙනව. විශේෂයෙන්ම යුද වැදුණු දෙපාර්ශවයටම යුද ගැටුම් සමයේ මියගිය ඥාතීන් සමරන්න ආණ්ඩුව අවසර දීම ඔවුන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනව.
ජාතිවාදයට එරෙහිව ජනාධිපති අනුර ගේ කැපවීම අගය කරන බ්‍රිතාන්‍යය ප්‍රමුඛ Core Group එක, තව බොහෝ දේ සිදුවිය යුතු බවත් සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ශක්තිමත් සහ ස්වාධීන දේශීය ආයතන පැවතීම අත්‍යවශ්‍ය බව සඳහන් කරන නිවේදනය, විශේෂයෙන්ම ස්වාධීන අභිචෝදක කාර්යාලය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙනවා.
ඇත්තටම අපි දැක්ක ආණ්ඩුවේ නීති උපදේශකයා වන නීතිපති දෙපාර්තමේන්තුව අභිචෝදකයාත් වීම නිසා පසුගිය දශක කිහිපය පුරාම බොහෝ නීතිපතිවරු නීතිය නවපු හැටි. සමහර නීතිපතිවරුන්ට මිනිස්සු කිවුවේ 'නඩු අස්කරගන්න නීතිපති' කියල. නඩු පැවරීම වෙනුවෙන් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් අවශ්‍යයි කියල දැන් කාලාන්තරයක් තිස්සේ ඉල්ලීමක් මතුවෙන්නේ ඒ නිසා. මාලිමාවත් ඡන්ද පොරොන්දුවක් විදියට ඒක ඉදිරිපත් කළත්, ආණ්ඩුවේ ගොඩක් අනිත් පොරොන්දු වගේ ඒ කාර්යාලය පිහිටුවීමත් ටිකෙන් ටික කල් යන හැඩක් තමයි පේන්න තියෙන්නේ. ඒ මදිවට නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වැඩේට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
වැදි බණ?
බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් වෙනුවෙන් ජිනීවා සමුළුවට මේ නිවේදනය ඉදිරිපත් කරන්නේ මානව හිමිකම් පිළිබඳ බ්‍රිතාන්‍ය තානාපතිනි Eleanor Sanders.
එක පැත්තකින් ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන කතාකරන බ්‍රිතාන්‍යය සහ කැනඩාව, බෙන්යමින් නෙතනියාහු අවුරුදු ගාණක් ගාසා තීරයේ කරපු මහා පලස්තීන ජන සංහාරය නොදැක්ක වගේ හිටිය. ඇත්තටම නොදැක්ක වගේ හිටිය නෙවෙයි, ඊශ්‍රායලයට ආයුධ විකුණලා දස දහස් ගණන් දරුවන්, කාන්තාවන්, හාමතේ ආහාර යැදපු සිවිල් වැසියන් අමු, අමුවේ මරා දැමීමට මේ රටවල් කෙලින්ම සම්බන්ධ වුණා.
එහෙම බැලුවම ඇත්තටම ලංකාවේ මානව හිමිකම් ගැන කතාකරන්න බ්‍රිතාන්‍යයට සහ කැනඩාවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියලත් හිතෙනවා.
ඒ කොහොම වුණත්, කවුරු කිවුවත් ඔවුන් කියල තියන දේ ඇත්ත.
(සටහන | සරෝජ් පතිරණ)බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මාර්තු 04




