ශ්‍රී ලංකාවේ ජාතික ජල තීරය ආසනයේ තවත් ඉරාන නෞකාවක් ඇතැයි ද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේතුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළේය.
"කොළඹ වරායට තාදසන්නව තියෙන දෙවැනි නැවක් ගැන ඔබතුමා දන්නවා ද? මොකක් ද ඒක ගැන කටයුතු කරන ආකාරය. ඇයි ඒක පිළිබඳව කරුණු ඉදිරිපත් නොකරන්නේ?"
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, එම නෞකාව ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ජල තීරයේ නොවන බවයි.
"මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජල තීරය තුළ නෙවෙයි. එය තිබෙන්නේ ජාතික ජල තීරයට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ. අපි ඒ ජීවිත සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්න බව පමණක් මට කියන්න පුළුවන්. මේ කටයුතු අවසන් වුණා ම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්," ඔහු පිළිතුරු දෙමින් පැවසිය.
''ඉරාන නැව මුහුදුබත් වූ ආකාරය ගැන රජය විධිමත් නිල ප්‍රකාශයක් සිදු කළ යුතුයි''
ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ දී ඊයේ (04) ඉරාන නෞකාව ගිනිබත් වූ අකාරය ගැන රජය විධිමත් නිල ප්‍රකාශයක් සිදු කළ යුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.
මෙම ප්‍රහාරය සිදු වු නිශ්චිත ස්ථානය හෝ එය අප මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධද යන්න සහ රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දීය සාගරය තුළ අනුමාන කළ හැකි ආකාරයට නාවුක සැතපුම් 40-44 දුරකින් පිහිටි ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවට විදේශ රාජ්‍යයක මැදිහත්වීම හරහා ප්‍රහාරයක් එල්ල වී මුහුදුබත් වූ බවට විදේශ මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙහි දී මුහුදුබත් වූ නැවේ සිටි නාවිකයන් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව කටයුතු කිරිම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීතිය අනුවත් ජාත්‍යන්තර මානව නීතිය ඇතුළු නීති අනුව රටක මුහුදු සීමාවන් තුළ කටයුතු කළ ආකාරය දැක්වෙන බවත් රටේ සෛරීභාවය ඒකීය භාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ මෙන්ම පාර්ලිමේන්තුවේද යුතුකමක් බවත් මෙවැනි සංවේදී සිදුවීමක් රට ආසන්නයේ සිදුව තිබියදී සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම ඉටු කිරිමට බාධාවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2.1 වගන්තියට අනුව සියලුම රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය හා සමානාත්මතාව සැම රටක්ම පිළිගත යුතු බවත් මෙවැනි අවස්ථාවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 19 සහ 20 වැනි වගන්ති යටතේ දක්වා ඇති අතර ඒ අනුව යුද අභ්‍යාසවල නිරත වීම දේශිය ජල තීරයේ සබ්මැරීන් ගමන් කිරිම ආදිය දක්වා ඇති බවත් මේ සම්මුතියට අත්සන් කළ රටක් ලෙස අප රටත් රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
සීඑන්එන්, බීබීසී අල්ජසීරා ආදිය සබ්මැරීනයක් හරහා ටෝපිඩෝ ප්‍රහාරයක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය පවා කියන විට අප රටේ ආරක්ෂක අමාත්‍යාංශය එවැනි දෙයක් සිදු නොවන බවට පවසන බවත් ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා පවා එවැනි සබ්මැරීන් ටෝපීඩෝ ප්‍රහාරයක් එල්ල කළ බව පවසන විට රජය මේ ප්‍රශ්න ගැන නිල ප්‍රකාශයක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගාල්ලේ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගෙන්වා ඇති බවත් මේවා තැන්පත් කරන්න අඩි 40 කන්ටේනර් අවශ්‍ය බවට වෛද්‍ය අංශ ඉල්ලා සිටින නිසා එය රජය ලබා දිය යුතු බවත් ඔහු කියා සිටියේය.
ජාතික ආරක්ෂාව ගැන මේසයක් බංකුවක් ගෙන ආවොත් ටියුෂන් දෙන්නම් යැයි කියූ මැති ඇමතිවරුන් ඉන්න වත්මන් රජයේ අය අප රටේ මුහුදු සීමාවේ සහ අනන්‍ය ආර්ථික කලාපයේ සිදුවන දේවල් නොදැන සිටිම පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
''ඉරාන නෞකාව ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් නවත්තාගෙන හිටියා'' - මුජිබර්
ඉරාන නෞකාව ශ්‍රී ලංකාවේ ගාලු වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා පැය 11ක කාලයක් මුහුදේ නැංගුරම් ලා සිටි බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
"ආණ්ඩුව පැය 11ක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. පැය 11ක කාලයක් ගියාට පස්සේ තමයි මේ තොරතුර ඇමෙරිකානු හමුදාවට ගියේ... ඒ ගොල්ලන්ගේ සබ්මැරීන් එක, ඒක මේ අවට තිබුණේ නැහැ. සබ්මැරීන් එක තිබුණේ ගල්ෆ් කලාපයේ. ගල්ෆ් කලාපයේ ඉඳන් මෙතනට ආවා මේකට පහර දෙන්න," ඔහු පැවසිය.
"ඇයි පැය 11ක් තිස්සේ නැව නවත්තා ගෙන ඉන්න ඉඩ දුන්නේ. ජාත්‍යන්තර ප්‍රඥප්ති අත්සන් කරලා තියෙද්දී ඇයි ඒ වරායට ඉඩ නොදුන්නේ?," ඔහු එහිදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.
ඉරාන නෞකාව අනතුරට පත් වූයේ ගාලු වාරයේ සිට නාවික සැතපුම් 19ක් දුරින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්
ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඊයේ (04) පස්වරුවේදී පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රතිචාරය
ඉරාන විදේශ ඇමති
ශ්‍රී ලංකාවේ ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන නාවික හමුදා නෞකාවකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි x පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා ඇත.
ඉරාන වෙරළට සැතපුම් 2,000ක් ඈතින් මුහුදේදී එක්සත් ජනපදය දරුණු අපරාධයක් සිදු කර ඇති බව ඔහු පවසයි.
නාවිකයින් 130කට ආසන්න සංඛ්‍යාවක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ අමුත්තෙකු වූ ඩෙනා ෆ්‍රිගේට් නෞකාවට ජාත්‍යන්තර මුහුදේදී අනතුරු ඇඟවීමකින් තොරව පහර දී ඇතැයිද ඔහු කියා සිටියි.
"මගේ වචන මතක තබා ගන්න: එක්සත් ජනපදය තමන් දුන් පූර්වාදර්ශය ගැන දැඩි ලෙස කනගාටු වනු ඇත," එහි වැඩිදුරටත් සඳහන් වුණා.




