The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවේ වාරි ව්‍යාපෘතියකින් වන්නියේ අලි මිනිස් ගැටුම උග්‍ර කෙරෙන බවට බියක්

T

The Leader Desk

March 7, 2026 • 4:09 AM

ආණ්ඩුවේ වාරි ව්‍යාපෘතියකින් වන්නියේ අලි මිනිස් ගැටුම උග්‍ර කෙරෙන බවට බියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඒ EIA වාර්තාව බැලුවාම කරුණු රැසක් අනාවරණය වෙනවා.
  • ජනතාවගේ පාරම්පරික ඉඩම් මේකට යටවන බවත්, වැව් රැසක් අහිමි වන බවත් එහි සඳහන්.
  • "දැනටමත් වන්නි ප්‍රදේශයේ, විශේෂයෙන්ම නෙඩුංකේණි ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම විශාල ගැටලුවක් බව ඔබ දන්නවා.
  • දැනට අපේ උතුරු පළාතේ වර්ග කිලෝමීටරයකට අලි ඝනත්වය 0.45 ක් පමණ වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට 2026 ජනවාරි 19 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබු අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දී තිබුනේ කිවුල් ඔය පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව (EIA)  මගින් වන්නි වනාන්තරයටම ආවේණික පරිසර පද්ධතියක් ජලයෙන් යට වන ආකාරය ද මනා ලෙස පෙන්වා දී ඇති බවයි.

"ඒ EIA වාර්තාව බැලුවාම කරුණු රැසක් අනාවරණය වෙනවා. ජනතාවගේ පාරම්පරික ඉඩම් මේකට යටවන බවත්, වැව් රැසක් අහිමි වන බවත් එහි සඳහන්. අනෙක් කරුණ නම් වන්නි වනාන්තරයේ ඉතා වැදගත් කොටසක් ජලයෙන් යටවීමයි. ලංකාවේ වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන, වන්නි වනාන්තරයටම ආවේණික වූ ගස්වැල්, සතුන් සහ පක්ෂි විශේෂ මුළුමනින්ම විනාශ වී යාමේ අවදානමක් මෙයින් මතු වෙනවා. මෙවැනි කරුණු රැසක් පෙන්වා දී අවසානයේ ඔවුන් පවසන්නේ, මෙම ව්‍යාපෘතිය රටේ ආර්ථික සංවර්ධනයට වැදගත් වන බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වනාන්තරය ඔවුන්ට ලබා දෙන බවයි."

අලි මිනිස් ගැටුම එහි සදහන් වන වැදගත්ම කරුණක් ලෙස පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් එහිදී අවධාරණය කර තිබුනේ වන්නි වනාන්තරවල මේ වන විටත් වර්ග කිලෝමීටර 2 කට එක් අලියකු බැගින් සිටින බවයි.

"දැනටමත් වන්නි ප්‍රදේශයේ, විශේෂයෙන්ම නෙඩුංකේණි ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම විශාල ගැටලුවක් බව ඔබ දන්නවා. දැනට අපේ උතුරු පළාතේ වර්ග කිලෝමීටරයකට අලි ඝනත්වය 0.45 ක් පමණ වෙනවා. අපේ වන්නි වනාන්තරවල වර්ග කිලෝමීටර 2 කට එක් අලියෙක් ගානේ ඉන්නවා. දළ වශයෙන් වර්ග කිලෝමීටර 0.9 කට අලි දෙන්නෙක් ඉන්නවා."

නමුත් මහවැලි අධිකාරිය විසින් මීට පෙර සංවර්ධනය කළ මහවැලි කලාපයේ අලි ඝනත්වය මීට වඩා දස ගුණයකින් වැඩි බව පෙන්වා දෙන දෙමළ ජනතා නියෝජිතයා  එයට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දී තිබුනේ වනාන්තර විනාශ වී ජලාශ ඉදිවීමයි.

මින්නේරිය වැනි ප්‍රදේශවල සංචාරකයන් ඇදගන්නා එකම තැනක අලි 100 ක් 200 ක් දැකගත හැකිවීමට හේතුවද මන්ත්‍රීවරයා පැහැදිලි කර තීබුනේ පහත අයුරිනි.

"වනාන්තර විනාශ වූ පසු එම ප්‍රදේශ තණබිම් බවට පත් වෙනවා. ඉන්පසු අලින්ට අවශ්‍ය තණකොළ සහ ජලය ඕනෑ තරම් ලැබෙන බැවින් අලි බෝවීම සීඝ්‍රයෙන් ඉහළ යනවා. ලෝකයේ වර්ග කිලෝමීටරයකට වැඩිම අලි ඝනත්වයක් ඇති රට ලංකාව වීමට එය හේතුවක්. මින්නේරිය වැනි ප්‍රදේශවල එකම තැනක අලි 100 ක් 200 ක් දැකගත හැක්කේ ඒ නිසයි."

කිවුල් ඔයේ ජල සම්පත කාර්යක්ෂම හා පලදායි ලෙස යොදා ගනිමින් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජල හිඟය, දරිද්‍රතාව හා අඩු කෘෂිකාර්මික නිෂ්පාදන ශක්තිය යන ප්‍රධාන ගැටලු විසඳීම සහ ප්‍රාදේශීය ආර්ථිකය සංවර්ධනය කිරීම අරමුණු සහිතව කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2011-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන් බව රජය නිවේදනය කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය නිසා අක්කර 13,000 ක වනාන්තරයේ සිටින අලි පිටතට පැමිණීම දැනට ඇතිවිය හැකි ක්ෂණික ගැටලුවක් බවයි.

"තවත් කලක් යන විට අලි ගහනය වැඩි වීම නිසා දෙවන ගැටලුව මතු වෙනවා. එය වසර 10 කින් පමණ සිදුවිය හැකියි."

කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම නිසා ඇති වන  අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට වවුනියාව උතුරේ කුමක් කරන්නේද යන්න ගැන කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් පෙන්වා දී තිබුනේ  ජලයට යටවන ගම්මාන ගැනත්, විනාශ වන වනාන්තර ගැනත් බලධාරීන් මුනිවත රකින බවයි.

"සමස්තයක් ලෙස ඒගොල්ලෝ කතා කරන්නේ වැව් බැම්මෙන් පහළ කොටස ගැන විතරයි. බැම්මෙන් ඉහළ වවුනියාව උතුර ගැන කිසිදු තැකීමක් නැහැ."

කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතියට  අමුණ ඉදිකිරීම හරහා වතුරෙන් යටවන ප්‍රදේශය ලෙස සෘජුවම හෙක්ටයාර් 1600 ක් හෙවත් අක්කර 4000 ක භූමියක් හඳුනාගෙන ඇති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් එහිදී පෙන්වා දී තිබුනි.

"ඒක වටේ මීටර් 100 ක බෆර් සෝන් එකකුයි,වෙනත් වැඩවලට ගන්නා ඉඩම් ඇතුලටයි, දැනට වගා කරමින් තියෙන  අපේ කුඹුරු අක්කර 910 ක් ඇතුළත් වෙනවා."

ගම්මාන දෙකක් මෙම ජලයට යටවීමට නියමිත අතර කාන්චිරමොට්ටෙයි ගම්මානය සහ වඩිවෙත්තනෙල්ලු ගම්මානයෙන් කොටසක් මේ විදියට යටවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා අවධාරණය කර තිබුනේ මීට අමතරව කුඩා වැව් අටකුත් එයට යටවීමට නියමිත බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත කලාපයක් ලෙස වෙන් කර තිබු හෙක්ටයාර් 6700 ක් මහවැලි සංවර්ධන අධිකාරියේ ඉල්ලීම පරිදි නිදහස් කර ඇති බවත් දෙමළ ජනතා නියෝජිතයා එහිදී තව දුරටත් පෙන්වා දී තිබුනි.

"ඔවුන්ට දැනටමත් මහවැලි L කලාපය ලෙස හෙක්ටයාර් ලක්ෂ 2 ක ඉඩම්. එම හෙක්ටයාර් ලක්ෂ 2 ට අමතරව, වවුනියාව උතුර පරිපාලන සීමාවට අයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබුණු හෙක්ටයාර් 6700 ක් හෙවත් අක්කර 13,000 ක භූමිය මහවැලි අධිකාරියේ ඉල්ලීම පරිදි නිදහස් කර දී තිබෙනවා."

දෙමළ ජාතික ජනතා පෙරමුණ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) යන පක්ෂ දෙක විසින්  කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතියට දැඩි ලෙස විරෝධය පළ කර ඇත්තේ එය  ප්‍රදේශයේ ජනවාර්ගික සංයුතිය වෙනස් කිරීම සැලසුම් කොටගත් ව්‍යාපෘතියක් ලෙස හෙළා දකිමිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...