‘පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙර මග’ යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය සැමරෙන අතර, මෙරට ජනගහනයෙන් 52%ක් නියෝජනය කරන කාන්තාවන් වැටුප් නොලබා ගෘහණියක ලෙස ඉටු කරන සේවයට අමතරව ඇඟලුම්, වතු, විදේශ රැකියා මෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපන යන ක්ෂේත්‍රයන් හරහා රටේ ආර්ථිකයට ලබා දෙන දැවැන්ත දායකත්වය ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය. විශේෂයෙන්ම පසුගිය 2025 වසරේ ශ්‍රී ලංකාව ලැබූ ආර්ථික ජයග්‍රහණ පිටුපස සිටි ප්‍රධානතම ශක්තිය කාන්තා පරපුර බව ද ඔහු අවධාරණය කළේය.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාව තහවුරු කරමින් කාන්තාවන් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීමට රජය මේ වන විටත් සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර, නිවසේදී, ප්‍රවාහනයේදී මෙන්ම සේවා ස්ථානයේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇත.
රටේ අනාගත අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වන අතර, ආචාරධාර්මික සහ සහකම්පනයෙන් යුත් දියුණු රටක් ගොඩනැඟීමේ ගමනට පෙරගමන්කරුවන් ලෙස ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සමස්ත කාන්තා පරපුරට ඇරයුම් කර සිටියි.





