The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

උතුරේ අතුරුදහන් කරනු ලැබුවන්ට යුක්තිය සොයා සටන් වදින දෙමළ නෑසියන්ට බලපෑම්

T

The Leader Desk

March 10, 2026 • 3:59 AM

උතුරේ අතුරුදහන් කරනු ලැබුවන්ට යුක්තිය සොයා සටන් වදින දෙමළ නෑසියන්ට බලපෑම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "2009 යුද්ධයේදී අම්මා තාත්තාව ලංකා හමුදාවට භාර දුන්නා කියලා අම්මා කිව්වා.
  • ඉන්පසු අපි ඔවුන්ව විශ්වාස කරන්නේ කෙසේද යන හැඟීම අප තුළ සම්පූර්ණයෙන්ම ඇති වුණා.
  • " මෙවර ජගත් කාන්තා දිනයත් උතුරු නැගෙනහිර කාන්තාවන්ට තම ඥාතීන් සොයන ශෝක දිනයක් බව සිහිපත් කළ සුබ්‍රමනියම් පරමානන්දම් මාධ්‍යවේදීන් හමුවේ යළි යළිත් අවධාරණය කර තිබුනේ ඔවුන් යුක්තිය වෙනුවෙන් අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමක් බවයි.
  • වර්ග සංහාරයේ ස්මාරකයක් බඳු වට්ටුවාකල් පාලම පවා සංවර්ධනයේ මුවාවෙන් විනාශ කර දැමීමටත්, දෙමළ වර්ග සංහාරයේ සලකුණක්වත් ඉතිරි නොවන සේ මකා දැමීමටත් ඔවුන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවට සිවානන්දන් ජෙනීටා එහිදී වැඩි දුරටත් ආණ්ඩුවට චෝදනා කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


උතුරු නැගෙනහිර යුද පීඩිතයන්ට යුක්තිය ඉටු වීම තවත් බෝහෝ දුර බව ගම්‍ය කෙරෙන එම තොරතුරු හෙළි වී ඇත්තේ අතුරුදහන් කරනු ලැබුවන් පිළිබඳ සත්‍යය හෙලිකරගැනීමට 2017 වසරේ ජගත් කාන්තා දිනයේ මුලතිව්හිදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසර නමයක්  සපිරෙන දිනයේත් මුලතිව්හීදී වීදි බැසි, සිය පියාට යුක්තිය ඉල්ලා සටන් වදින තරුණියක් කළ හෙලිදරව්වකිනි.

මෙවර ජගත් කාන්තා දිනයේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් දෙමළ අම්මාවරුන් තම ආදරණීයයන් දාසය අවුරුද්දකට පෙර හමුදාවට බාරදුන් වට්ටුවාක්කල් පාලම වෙතින් දියත් කළ විරෝධතා පා ගමනට එක්ව සිටි මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සාමාජිකාවක ද වන සදුර්ජනා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනේ සිය මව විසින්ම රජයේ හමුදා වෙත බාර දුන් සිය පියා වෙනුවෙන් මරණ සහතිකයක් ලබා ගන්නා ලෙස මෑතකාලයේදීද ලිපියක් ලැබී තිබු බවයි.

"2009 යුද්ධයේදී අම්මා තාත්තාව ලංකා හමුදාවට භාර දුන්නා කියලා අම්මා කිව්වා. ඒකෙන් එහාට අපි කිසිම දෙයක් දන්නේ නැහැ. මේ අවුරුදු ගාණ තිස්සෙම තාත්තා කොහේද කියන ප්‍රශ්නෙට උත්තරයක්ම නැහැ. ළඟදීත් තාත්තාට මරණ සහතිකයක් ගන්න කියලා ලියුමක් ආවා. අපිට නිවැරදි තීරණයක් නැතුව ඇයි අපි මරණ සහතිකයක් ගන්න ඕනේ? අපේ අම්මා තාත්තාව හමුදාවට භාර දුන්නා. මේ තාක් කාලයක් කිසිම උත්තරයක් නැහැ. මෙච්චර කාලයක් උත්තරයක් නොදීපු ආණ්ඩුවට ඇයි අපි තාත්තාට මරණ සහතිකයක් අරන් දෙන්න ඕනේ? අපි ඒක ගන්නේ නැහැ. අපේ තාත්තා කොහේද කියලා කියනකම් අපි ඒක ගන්නේ නැහැ."

බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන්ට වත්මන් පාලනය යටතේ හෝ යුක්තිය ඉටු වෙතැයි කිසිදු විශ්වාසයක් නොමැති, සිය පියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදින සදුර්ජනා මාධ්‍යවේදීන් හමුවේ තව දුරටත් අවධාරණය කර තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති සිය සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගන්නා තෙක් ඉදිරි පරම්පරාවද ඔවුන්ට යුක්තිය ඉල්ලා දියත් කෙරන සටන අත් නොහරින බවයි.

"දැන් අනුර ඇවිල්ලා අලුත් අලුත් නිවුස් දාලා රට දියුණු කරන්න ඕනේ කියලා හිතනවා. මම හැම අවුරුද්දකම එකම එක ප්‍රශ්නයක් අහනවා, අපේ තාත්තා කොහේද? මේ තාක් කාලයක් අපේ තාත්තා එයි කියලා අම්මා බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිත් ඉන්නේ ඒ බලාපොරොත්තුවෙන්මයි. අපේ තාත්තා නැත්නම් ඒකත් කමක් නැහැ. ඔබලා මොකක් හරි කරලා. රටේ තත්වය.. ඒවාවලින් අපිට වැඩක් නැහැ. අපි පොඩි කාලේ හිටියේ, අපිට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අපි ගොඩක් දේවල් පහු කරලා ඇවිත් ඉවරයි. මින් ඉදිරියට අපිට එකම එක ප්‍රශ්නෙකට විතරක් උත්තර ඕනේ. අපේ තාත්තා කොහේද? අපිට අපේ තාත්තාව ඕනේ. එයා නැත්නම් ඒකට උත්තරයක් ඕනේ. එයාව ඔබලා මොකද කළේ කියන එකට උත්තරයක් ඕනේ. නැත්නම් අපි ජීවතුන් අතර ඉන්නකම්, මෙතන මගේ නංගි ඉන්නවා. ඊළඟ පරම්පරාව වෙනකම් මේ ප්‍රශ්නය අහගෙනම ඉන්නවා. මින් ඉදිරියට එන පරම්පරාව දක්වා මේ ප්‍රශ්නය අහගෙනම ඉන්නවා. අපිට උත්තරයක් ලැබෙනකම් අපි මෙහෙන් යන්නේ නැහැ."

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017 උතුරු නැගෙනහිර දෙපළාතේ විරෝධතා ආරම්භ කළ දෙමළ දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 400 ක් මේ වන විටත් යුක්තිය නොලබාම මිය ගොස් ඇති බවයි.

අතුරුදහන් කරන ලද සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන අඛණ්ඩ විරෝධතාවයේ 9 වැනි අවුරුද්ද සපුරන උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේම දෙමළ අම්මාවරුන් තම ආදරණීයයන් දාසය අවුරුද්දකට පෙර හමුදාවට බාරදුන් වට්ටුවාක්කල් පාලම මතින් දියත් කළ  විරෝධතා පා ගමනට එක්ව සිටි මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායක සුබ්‍රමනියම් පරමානන්දම් මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර තිබුනේ අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වූ 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) කෙරේ කිසිදු  වින්දිතයකුගේ විශ්වාසයක් නැති බවයි.

"ඒගොල්ලෝ OMP කියලා එකක් ගෙනාවා. ඒක ගෙනාපු අයට අපේ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමය කරුණු පැහැදිලි කළා. ඉතා පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයන් පස් දෙනෙක් ගැන විමර්ශනය කිරීම සඳහා ඔවුන්ට ලබා දුන්නා. ටික කලකට පසු අපි ලබා දුන් එම ලේඛන පවා ඔවුන් අස්ථානගත කර තිබුණා. ඉන්පසු අපි ඔවුන්ව විශ්වාස කරන්නේ කෙසේද යන හැඟීම අප තුළ සම්පූර්ණයෙන්ම ඇති වුණා. "

මෙවර ජගත් කාන්තා දිනයත් උතුරු නැගෙනහිර කාන්තාවන්ට තම ඥාතීන් සොයන ශෝක දිනයක් බව සිහිපත් කළ සුබ්‍රමනියම් පරමානන්දම් මාධ්‍යවේදීන් හමුවේ යළි යළිත් අවධාරණය කර තිබුනේ ඔවුන් යුක්තිය වෙනුවෙන් අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමක් බවයි.

"එදා සිට අද දක්වාම අපි විශ්වාස කරන්නේ ජාත්‍යන්තරයයි. ජාත්‍යන්තරය අපට විසඳුමක් ලබා දිය යුතුයි. අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා, ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටිනවා. අප දෙස දෑස් හැර බලන්න. අපට සිදු වූ වර්ග  සංහාරය දෙස බලන්න. ඒ හින්දා ජාත්‍යන්තරය අප දෙස බලා අපට විසඳුමක් ලබා දිය යුතුය යන අරමුණ ඇතිව, අද ජාත්‍යන්තර කාන්තා දිනය වුවද, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අද දිනය තම ඥාතීන් සොයන ශෝක දිනයක්"

විරෝධතා පෙළපාලිය සදහා එක්ව සිටි උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ යුක්තිය ඉල්ලා දෙමළ ජනයා දියත් කරන අරගල මර්දනය කිරීම සදහා දැනට රට තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) භාවිතයට ගත් රජය දැන් ඒ වෙනුවෙන් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතක්  (PSTA) ගෙන ඒමට කටයුතු කරමින් සිටින බැවින් දෙමළ ජනතාව ඒ පිළිබදව ඉතා අවධානයෙන් හා අවදිව කටයුතු කළ යුතු බවයි.

"ශ්‍රී ලංකා රජය අපගේ ඥාතීන්ගේ අරගල මර්දනය කරන්න අලුත් අලුත් නීති ගෙන එමින් ඉන්නවා. අද දක්වාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙනවා. එම නීතිය හරහා රජයේ බුද්ධි අංශ තර්ජන, තහනම් නියෝග, නඩු පැවරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් අපගේ අරගලය මර්දනය කරන රජය, දැන් රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරන නව නීතියක් බලාත්මක කිරීමට සූදානම් වෙනවා. ඒ හින්දා අපගේ අරගල මර්දනය කර, අපගේ ඥාතීන් සෙවීමට ඉඩ නොදී, මේ රට තුළ තමන්ගේ පාලනය බලහත්කාරයෙන් පවත්වාගෙන යාම සඳහා මෙම රජය සැලසුම්සහගත ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවමින් ඉන්නවා."

දැනට රට තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) අහෝසි කර යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් උතුරු නැගෙනහිර දෙපළාතෙන් අත්සන් 29069 ක් තැබු පෙත්සමක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කිරීමට පෙබරවාරි මස අවසානයේදී දෙමළ  සිවිල් සමාජ ක්‍රියාකාරීන්  යාපනය තැපැල් කාර්යාලය වෙත බාර දී තිබුණි.

වර්ග සංහාරයේ ස්මාරකයක් බඳු වට්ටුවාකල් පාලම පවා සංවර්ධනයේ මුවාවෙන් විනාශ කර දැමීමටත්, දෙමළ වර්ග සංහාරයේ සලකුණක්වත් ඉතිරි නොවන සේ මකා දැමීමටත් ඔවුන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවට සිවානන්දන් ජෙනීටා එහිදී වැඩි දුරටත් ආණ්ඩුවට චෝදනා කර තිබුනි.


ලෝක මට්ටමේ නළුවන්

මේ වන විට මැද පෙර දිග දියත් වෙමින් පවතින යුද්ධයේ පාර්ශවකරුවන් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ වර්ග සංහාරයේ කොටස් කරුවන් බව විරෝධතාවයට එක්වෙමින්  සිහිපත් කළ වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් එහිදී සදහන් කර තිබුනේ, උතුරු නැගෙනහිර කුඩා දරුවන් ඇතුළු දෙමළ ජනයාට විනාශය අත් කර දීමට නායකත්වය දුන් හිටපු ජනාධිපතිවරුන් දෙපළක් වන මහින්ද රාජපක්ෂ හා ගෝටාභය රාජපක්ෂ මැද පෙර දිග යුද තත්වය සම්බන්ධයෙන් කම්පා වෙමින් ලෝක මට්ටමේ නළුවන් සේ රංගනයක නිරතවීම වේදනාකාරී බවයි.

"මෑතකදී යුද්ධයක් සිද්ධ වුණා. ඒක තවමත් සිද්ධ වෙමින් පවතිනවා. ඒක දන්නවා. ඒ යුද්ධයට සම්බන්ධ වුණු හැමෝම අපිට විනාශය අරන් දීපු අය තමයි. ඒක එක පැත්තක්. හැබැයි මානුෂීය පැත්තෙන් බලද්දී කුඩා ළමයින්ට, බිළිඳුන්ට, කාන්තාවන්ට හානි වෙන්න බැහැ. ඒ අයව තලා පෙළන්න බැහැ, විනාශ කරන්න බැහැ කියන එකේ කතා දෙකක් නැහැ. දෙමළ ජනතාව ළඟ මානුෂීය ගතිගුණ ගොඩක් තියෙනවා. හැබැයි අපිට බෝම්බ දාලා අපව විනාශ කරපු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ කල්ලිය ළමයින්ගේ, බිළිඳුන්ගේ සංඛ්‍යාව ගැන කියලා විදේශ රටවල් ගැන කතා කරනවා. අපි ළඟම නේද හිටියේ? මෙහෙම අපව විනාශ කරද්දී ඔයාලට මොකුත් පෙනුණේ නැහැ. දැන් ඔයාලා ලෝක මට්ටමේ නළුවෝ වගේ රඟපානවා. ඒකයි වේදනාව."

තුරෙයිරාසා රවිහරන් මන්ත්‍රීවරයා එහිදී තව දුරටත් වත්මන් පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ දෙමළ ජනයාට යුක්තිය සහ සාධාරණය ඉටු කර ඉතා ඉක්මනින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ කඳුළු පිසදැමීමට කටයුතු කරන ලෙසයි.

"මේ රජයවත් ආපු ගමන් වෙනසක් විදිහට අපිට ඒ දේ කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි කතා කළා. කතා කරමින් ඉන්නවා. ඒත් මුනුත් ඒකට විසඳුම් දෙන්නේ නැහැ. ඉක්මනට විසඳුම් දීලා මේ ජනතාවට සාධාරණය ඉටු කරන්න ඕනේ කියන එකයි අපේ බලාපොරොත්තුව. ඔයාලගේ ලංකා රජයේ සීමාවන් ඇතුළේ අපි මේ රටේ පාරම්පරික දෙමළ ජනතාව. එතකොට අපව අයින් කරලා මේ රට සිංහලයන්ට විතරක් කියලා කියන්න බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම අයිති රටක් නම් අපිත් ඔයාලගේ පුරවැසියෝ. අපිට උරුම යුක්තිය සහ සාධාරණය ඔයාලා ඉටු කරන්නම ඕනේ. ඒක පරක්කු නොකර ඉතා ඉක්මනින් මේ ඥාතීන්ගේ කඳුළු පිසදාන්න ඕනේ කියලා තමයි අපි ඉල්ලන්නේ."

යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන්ව ඇති හා බලහත්කාරයෙන් පැහැර ගෙන ඇති සිය ඥාතීන්ට රටතුල යුක්තියක් ඉටුවී නැති බවට චෝදනා කරන  බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමය ඉකුත් දාහත් වසරකට ආසන්න කාලයක් තිස්සේ එක් හඩින් ඉල්ලා සිටින්නේ යුක්තිය සදහා ජාත්‍යන්තර මැදිහත්වීමකි. 

brige north

north brige 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උතුරේ අතුරුදහන් කරනු ලැබුවන්ට යුක්තිය සොයා සටන් වදින දෙමළ නෑසියන්ට බලපෑම් | The Leader