බිල් ගෙවීම් සහ පාරිභෝගික සේවා කටයුතු හැර අනෙකුත් සියලු සේවාවලින් සේවකයින් ඉවත්වීමත් සමඟ විදුලි බිඳවැටීම් හා නඩත්තු කටයුතු සම්බන්ධයෙන් සිදු කරන මැදිහත්වීම් මේ වන විට නතර වී තිබේ.
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ විදුලි බිඳවැටීම් මේ වනතෙක් යථා තත්ත්වයට පත් කර නොමැති අතර එම තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට දුරකථන ඇමතුම් ලබාදෙන පාරිභෝගිකයින්ට මණ්ඩලයෙන් ප්‍රතිචාරයක් නොලැබෙන බවද ඔවුහු පවසති.
මෙම වර්ජනය ඊයේ (9) පස්වරු 3.00ට ආරම්භ වී අද (10) පස්වරු 3.00 දක්වා ක්‍රියාත්මක වන අතර සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමින් සියලු සේවකයින් සේවයෙන් ඉවත් කරගන්නා බව ලංකා විදුලි බල මණ්ඩල ජාතික සේවක සංගමය රජයට අනතුරු අඟවා ඇත.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ‘ද ලීඩර්ට ’ පැවසුවේ පාරිභෝගික පැමිණිලි සඳහා තිබූ ක්ෂණික දුරකථන අංකද මේ වන විට විසන්ධී වී ඇති බැවින් මෙය පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනයක් බවයි.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ස්ථාපිත කරන ලද නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.
මේ අතර වැලිගම, නෙළුව, කැලණිය සහ නුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




