පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනයද අග්‍රාමාත්‍යවරිය විසින් පවත්වන ලද අතර එහිදී අදහස් දක්වමින් ඇය පැවසූයේ කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන ‘වැටුප් නොලබන’ ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන බවයි.
කාන්තාවන්ගේ මෙහෙවර නිසි ලෙස හඳුනාගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ඔවුන් පූර්ණ වශයෙන් ආර්ථික කටයුතු සඳහා දායක කරගත හැකි කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළාය. පවතින බාධා ඉවත් කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව කටයුතු කළ යුතු බව ද ඇය පැවසුවාය.
කාන්තාවන් සහ ගැහැණු දරුවන් සවිබල ගැන්වීම සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අත්‍යවශ්‍ය බවත්, ශ්‍රී ලංකාව සැමවිටම අධ්‍යාපනයට මුල් තැන ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය.
විශේෂයෙන් කාන්තාවන් තීරණ ගන්නා මට්ටමේ දේශපාලන ක්‍රියාවලියට එක්වීම, රැකියා වෙළඳපොළ තුළ කාන්තා දායකත්වය වැඩි කිරීම, සමාන අවස්ථා සහිත අධ්‍යාපන පද්ධතියක් පවත්වා ගැනීම යන කරුණු ස්ථාවර සහ සාධාරණ සංවර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ කළමණාකාරීත්වය, විදේශ තානාපතිවරුන් සහ සංවර්ධන හවුල්කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.






