ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් 2024/25 වසර සඳහා වන මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තියට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් තක්සේරු (NRA) වාර්තාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් මේ බව කියා සිටියි .
රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන 86 ක නියෝජිතයන්ගේ සහ විශේෂඥයන් 200 කට ආසන්න පිරිසකගේ දායකත්වයෙන් සිදු කරන ලද මෙම තක්සේරුව ශ්‍රී ලංකාව තුළ සිදු කළ තෙවන ජාතික අවදානම් තක්සේරුවයි.
මෙම වාර්තාවේ වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ මුදල් විශුද්ධිකරණ තර්ජනය පෙර පැවති 'මධ්‍යම-ඉහළ' මට්ටමේ සිට 'ඉහළ' (High) මට්ටමක් දක්වා වර්ධනය වී තිබීමයි. එය මෙරට පවතින බරපතළම අපරාධ වැරැද්ද ලෙස හඳුනාගෙන තිබේ. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික මුදල් විශුද්ධිකරණ අවදානම 'මධ්‍යම' මට්ටමක පවතින බව තක්සේරු කර ඇත.
මෙරට ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ (TF) අවදානම ද පෙර පැවති 'මධ්‍යම' මට්ටමේ සිට 'මධ්‍යම-ඉහළ' (Medium-High) මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත. අන්තවාදී සහ බෙදුම්වාදී ජාලවලින් එල්ල වන තර්ජන, ඩයස්පෝරා අරමුදල්, ඩිජිටල් අන්තවාදය සහ අවිධිමත් මූල්‍ය නාලිකා භාවිතය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
මීට අමතරව, සමූලඝාතක අවි ව්‍යාප්තියට මුදල් සැපයීමේ (PF) අවදානම පිළිබඳව ද ප්‍රථම වතාවට මෙහිදී අධ්‍යයනය කර ඇති අතර එය 'මධ්‍යම' මට්ටමක පවතින බව වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, අල්ලස සහ දූෂණය සම්බන්ධ අවදානම 'මධ්‍යම-ඉහළ' මට්ටමේ සිට 'මධ්‍යම' මට්ටම දක්වා පහත වැටී තිබීම සතුටුදායක තත්ත්වයකි. 2024 වසරේදී 32 ක්ව පැවති දූෂණ සංජානන දර්ශකයේ (CPI) ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රමාණය 2025 වන විට 35 දක්වා ඉහළ යාම මෙයට හේතුවයි.
ආර්ථික අංශ සලකා බැලීමේදී බැංකු, මූල්‍ය සමාගම්, නිශ්චල දේපළ, ස්වර්ණාභරණ සහ කැසිනෝ යන අංශ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් 'මධ්‍යම-ඉහළ' අවදානම් සහිත ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන තිබේ. කොටස් තැරැව්කාර සමාගම් සහ රක්ෂණ ක්ෂේත්‍රය 'මධ්‍යම' මට්ටමේ අවදානමක් පෙන්නුම් කරයි.
මෙම අවදානම් මඟහරවා ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිර්දේශ 15ක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්තිය 2026-2030 කාලසීමාව සඳහා යාවත්කාලීන කිරීමට රජය සැලසුම් කර ඇත.
(සටහන | ජේ.මුණසිංහ)




