ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර එම නඩුවෙන් සම්පූර්ණයෙන්ම මුදා හරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
සඳරුවන් සේනාධීර එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණ ද ඔහු එම නඩුවේ පාර්ශ්වයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේය. ඒ අනුව ඔහු මුදා හැරි අධිකරණය, ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කෙරිණි.
ඔහුට මෙසේ වරෙන්තු කර තිබුණේ ඔහු විසින් සිදුකළ අපරාධ වරදකට අදාල නඩුවක් නිසා නොවේ. උපාලි තෙන්නකෝන් පැහැරගෙන යෑම පිළිබද විභාග වෙමින් තිබුණු ලඝු නොවන විභාගයකට අදාලවය. මේ වෙද්දී එම සිදුවීමට අදාලව මහාධිකරණයේ නඩු පවරා ඇත.
ලංකා ඊ නිව්ස් කතෘවරයාට වරෙන්තු කර තිබුණේ එම නඩුවේ හදුනාගැනීමේ පෙරෙට්ටුවට පැමිණීමට නියමිතව සිටි ප්‍රේම් ආනන්ද උදලාගමගේ ඡායාරූපයක් වෙබ් අඩවියේ පළ කිරිම නිසාය. එහෙත් ඒ ඡායාරූපයද පළ කර තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාල වාර්තාකරණයක් වෙනුවෙනි. එලෙස වරෙන්තු නිකුත් කිරීම අසාධාරණ බව එම දිනවල තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබුණි.
2010 වසරේ දී ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනුණු අතර ඉන් පසු පැමිණි තර්ජනය හමුවේ 2010 මාර්තු මාසයේ දී සඳරුවන් සේනාධීර ජීවිතාරක්ෂාව පතා විදෙස් ගත විය. ලංකාවෙන් පිට සිට ඔහු ලංකා ඊ නිව්ස් කාර්යාලය පවත්වාගෙන ගිය අතර 2011 වසරේ දී එම කර්යාලය ගිනි තබා විනාශ කෙරෙණි.
මාර්තු 11 වැනිදා ඔහු යළි දිවයිනට පැමිණි අතර, එම අවස්ථාවේදී ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්විය.




