අධිකරණ ක්‍රියාවලියකදී වුවත් ඕනෑම ආගමිකයෙකුගේ පැවිදි වස්ත්‍රය ගැලවීමේදී “ආණ්ඩුව” මීට වැඩි සැලකිල්ලක් පෙන්විය යුතු යැයි ඉකුත් 06 වන දින ඥාණසාර හිමි සිවිල් ඇඳුමින් අධිකරණයට රැගෙන එනු ලැබීම ගැන සමාජයේ ඇති වූ කතාබහ විය.
සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමිගේ නීතිඥයින් අධිකරණයේදී මතු කළ කාරණාව වූයේ භික්ෂුවක් උපැවිදි කිරීමේ බලය ඇත්තේ මහානායක හිමිවරුන්ට පමණක් බවය. බන්ධනාගාර බලධාරීන්ට භික්ෂුවක් උපැවිදි කිරීමේ බලයක් නැති හෙයින් උන්වහන්සේට සිවුර පැළඳීමේ අවසරය දෙන මෙන් ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
අස්ගිරි පාර්ශවයේ විරෝධය සහ ව්‍යවස්ථාමය ගැටලුව
ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ පසුදින ප්‍රකාශ කර තිබුණේ ඥාණසාර හිමි උපැවිදි කිරීම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයට බරපතළ ප්‍රශ්න ඇති බවය. අධිකරණයට හා අධිකරණ ක්‍රියාවලියට තමන් වහන්සේලා ගෞරව කරන අතර, බන්ධනාගාර බලධාරීන් මෙම කාර්යයේදී නිසි පිළිවෙතක් අනුගමනය කළේදැයි ප්‍රශ්න සහගත බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
බන්ධනාගාර පනතට අනුව, ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබුණේ අත්අඩංගුවට ගන්නා විට පැළඳ සිටි ඇඳුම වූ සිවුරෙන්ම යැයි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කළහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ලබාදී ඇති පිළිගැනීම මත භික්ෂූන් සම්බන්ධව කටයුතු කිරීමේදී සාම්ප්‍රදායික සම්මතයන් හා පෞරාණික නීති රීති සැලකිල්ලට ගත යුතුය. මෙය නිරවුල් නොවුණහොත් අනාගතයට වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images
සමාජය මගහරින සැබෑ ප්‍රශ්නය
උන්වහන්සේගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගැටලුවක් තිබිය නොහැක. උන්වහන්සේ පෙනී සිටින්නේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙනි. මේ සංවාදයේදී සැවොම මගහරින තීරණාත්මක ප්‍රශ්නයක් තිබේ. මෙරට අපරාධ හා සිවිල් නීති උල්ලංඝණය කිරීමේ වරදකට පූජ්‍ය පාර්ශ්වය නියෝජනය කරන අයෙකු අධිකරණය හමුවේ චෝදනා ලබන විට, නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය ආයතන පමණක් නොව, සාමාන්‍ය සමාජයද එවැන්නෙකු දෙස බැලිය යුත්තේ කෙසේද යන්න මෙතෙක් සංවාදයට ලක්ව නැත.
මෙරට බෞද්ධයින් පමණක් නොව සමස්ත ලාංකීය සමාජයම භික්ෂුවකගෙන් අපේක්ෂා කරන්නේ සාමාන්‍ය පුරවැසියනට වඩා යහපත් හික්මීමක්, විනයක් හා සංයමයක් සහිත ආචාරධාර්මික පැවැත්මකි. එවැනි පැවැත්මක් නොමැතිව නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවලට උසාවියකට ඉදිරිපත් කෙරෙන විට, ඉන් බෞද්ධ චීවරයත් බෞද්ධාගමත් කෙලෙසෙන්නේ නැද්ද? සංවාදයෙන් ගිලිහී ඇත්තේ එම ප්‍රශ්නයයි.
බීමත් රිය ධාවනයෙන් ඇරඹි පැටිකිරිය
සංඝ සමාජය තුළද නිහඬව පවතින එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී නියැදියක් ලෙස ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තබා ගතහොත්, උන්වහන්සේ තවදුරටත් භික්ෂුවක් ලෙස පිළිගැනීමක් ලැබිය යුත්තෙක් දැයි තෝරා බේරා ගැනීම වැදගත්ය.
උන්වහන්සේගේ පසුබිම සලකා බැලීමේදී, 2000 අප්‍රේල් 14 වන දින අංක 06 ශ්‍රී 5444 දරන වාහනය බීමතින්, අධික වේගයෙන් සහ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කර අනතුරක් සිදු කිරීම මුල් තැන ගනී. මොහමඩ් රිෆායි සහ රවින්ද්‍ර කුමාර යන දෙදෙනා අනතුරට ලක්කර පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා 09 ක් තොටළඟ පොලීසියෙන් කොළඹ රථවාහන උසාවියට ගොනු කෙරිණි. එම වසරේ සැප්තැම්බර් 20 වන දින උන්වහන්සේ විවෘත අධිකරණයේදී එම සියලු චෝදනාවලට වරද පිළිගෙන රුපියල් 12,000 ක දඩයකටද යටත් වූහ.
නොයෙකුත් අපරාධ සඳහා අධිකරණයකින් වරදකරුවකු වන භික්ෂූන්ට එරෙහිව සංඝාධිකරණයක් මඟින් විනය පියවර නොගැනීම නිසා සංඝ සමාජය පිරිහෙමින් යන බව පැහැදිලි කාරණයකි. අතීතයේ ඇතැම් භික්ෂූන් දායකයින්ට රහසේ කළ බොහෝ දේ අද දායකයින් සමඟ එක්ව කරන තත්ත්වයට පත්ව තිබේ. “සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියෙන් තහවුරු කර තිබියදී සංඝ සමාජයෙහි විනය නොසුරැකෙන්නේ නම්, ශාසනය සුරක්ෂිත කිරීම යන්නෙහි අරුත කුමක්ද?
බොදු බල සේනාව සහ අන්තවාදී දේශපාලනය
ආණ්ඩු සහ සමාජය එම වගකීම අමතක කිරීම, භික්ෂූන්ගේ විනය විරෝධී හා වර්ගවාදී හැසිරීම් වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් විය. උතුරේ යුද්ධය පැවති සමයේ වාර්ගික-ආගමික සුහදත්වය හා සාමය වෙනුවෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ක්‍රියාකාරීව දායක වූ “අන්තර් ආගමික සම්මේලනය” 2009 යුද්ධය අවසන් වීමත් සමඟ නිහඬ විය.
ඉන්පසු ඥාණසාර හිමි විසින් පිහිටුවා ගත් “බොදු බල සේනා” සංවිධානය හරහා 2013-2014 වන විට මුස්ලිම් ආගමික සිද්ධස්ථාන හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරමින් මුස්ලිම් විරෝධයක් ආරම්භ කෙරිණි. 2014 ජුනි මාසයේ බේරුවල, දර්ගා නගරය හා අලුත්ගම ඇති වූ, දහසකට ආසන්න පිරිසක් අවතැන් වූ ප්‍රචණ්ඩත්වයට මුල පිරුණේද එම ව්‍යාපාරය හරහාය.

Ishara S.KODIKARA/AFP via Getty Images
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ සෘජු සම්බන්ධකම් පැවැත්වූවද, 2015 ජනවාරි ආණ්ඩු පෙරළියත් සමඟ එම දේශපාලන ක්‍රියාකාරිත්වය පසුබෑමකට ලක්විය. යළි කලඑළි බසිමින් 2016 ජනවාරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමේ නඩුව විභාග වූ හෝමාගම මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයේදී ඥාණසාර හිමි හැසිරුණු ආකාරය අධිකරණයට කළ බරපතළ අපහාසයක් ලෙස තීන්දු විය. ඒ අනුව 2018 දී අභියාචනාධිකරණය විසින් චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු කර වසර 06 ක සිර දඬුවමක් නියම කළේය.
සිර දඬුවම, ජනාධිපති සමාව සහ යළි සිරගතවීම
එම නඩු තීන්දුව අනුව සිරගතව සිටි ඥාණසාර හිමිට 2019 මැයි මාසයේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ සමාවක් ලබා දෙන ලදී. එහෙත් එම ක්‍රියාව නීතියට පටහැනි බව සඳහන් කරමින් ප්‍රගීත්ගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය, ජනාධිපති සමාව අහෝසි කර වසර 06 ක සිර දඬුවමේ ඉතිරි කාලය සම්පූර්ණ කළ යුතු බවට 2026 සැප්තැම්බර් 10 වන දින තීන්දු කළේය.
තීන්දුවෙන් පසු උසාවියට ඉදිරිපත් නොවූ බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදේශ ගමන් තහනම් කරමින් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී. ඒ අනුව කළුතර තීනියාවල ආරණ්‍ය සේනාසනයේ රැඳී සිටියදී ඔක්තෝබර් 03 වන දින කොළඹ අපරාධ පරීක්ෂණ අංශය විසින් ඥාණසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඊට අමතරව 2016 දී කිරුළපන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කළ ජාතිවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබිණි. එම සිදුවීමට අදාළව කොළඹ මහාධිකරණය මඟින්ද වසර 04 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.
සාමාන්‍ය නීතිය සහ විහාර දේවාලගම් පනතේ හිඩැස
වලංගු නීති උල්ලංඝණය කිරීමේ අපරාධ සම්බන්ධයෙන් භික්ෂුවක් උසාවියකට ඉදිරිපත් කෙරෙන විට, ඉන් බෞද්ධ චීවරයට හා බෞද්ධාගමට හානියක් සිදුවන බව පැහැදිලිය. අපරාධ සම්බන්ධයෙන් භික්ෂුවක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ශාසනයට සිදුවන අවැඩ වැළැක්වීමට අදාළ තැනැත්තා උපැවිදි කිරීම වැදගත් වේ.

ISHARA S. KODIKARA/AFP via Getty Images
සාමාන්‍ය නීතිය යටතේ භික්ෂුවක් උපැවිදි කිරීමේ ප්‍රතිපාදන නොමැත. විනය පිටකයට අනුව අදාළ නිකායේ මහානායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවට භික්ෂුවක් උපැවිදි කිරීමට තීන්දු කළ හැකිය. එහෙත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දුන් පරිදි, එලෙස උපැවිදි කෙරුණු පුද්ගලයෙකු බලහත්කාරයෙන් චීවරය පැළඳීම වැළැක්වීමේ නීතිමය බලයක් දැනට පවතින “විහාර දේවාලගම් පනත” යටතේ නායක හිමිවරුන්ට හිමිව නැත.
නීතිය හමුවේ චෝදනා ලබන භික්ෂූන් සංඛ්‍යාව වසරක් පාසා ඉහළ යමින් පවතී. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්තයන්ට අනුව 2023 මැයි 01 සිට 2026 මැයි 01 දක්වා වූ තෙවසර තුළ ළමා හිංසන සම්බන්ධයෙන් භික්ෂූන් 285 දෙනෙකුට එරෙහිව පැමිණිලි ලැබී ඇත. අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කළේ ඉන් 70% කට වඩා ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි බවයි. පූජ්‍ය පක්ෂයට එරෙහිව මෙවැනි සිදුවීම් රැසක් සමාජයට හෙළි නොවී යටපත්වන බවද ඇය පෙන්වා දී තිබේ.
සංඝ විනය රැකීමේ සැබෑ අභියෝගය
චෝදනා ලබන භික්ෂූන් චීවරයෙන් යුතුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඇත. ඊට විසඳුම ඇත්තේ “විහාර දේවාලගම් පනත” සංශෝධනය කිරීම තුළය.
යෝජිත සංශෝධනවලට අනුව, සංඝ සභාව මඟින් උපැවිදි කෙරෙන භික්ෂුව පිළිබඳ තොරතුරු බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන් වහාම, එම නම ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කළ යුතුය. අධිකරණ නඩුවක් පවතින්නේ නම් ඒ බව අදාළ උසාවියටද දැනුම් දිය යුතු වේ. මෙම සංශෝධන කඩිනමින් සම්මත කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
මෙම ක්‍රියාමාර්ග සියල්ල අධිකරණයේදී සිවුරට හා ශාසනයට සිදුවන අපහාසය වළක්වා ගැනීමේ නීතිමය උත්සාහයන් පමණි. ඉන් යහපත් සංඝ සමාජයක් ගොඩනැගීමේ අභ්‍යන්තර විනය ප්‍රශ්නය නොවිසඳේ. එය සම්පූර්ණයෙන්ම වෙනස් මාතෘකාවකි.
ප්‍රියානන්ද විජේසුන්දරයන් ලියා ආචාර්ය සනත් නන්දසිරි ශූරීන් ගැයූ ගීතයක මෙසේ සඳහන් වේ:
“...චුට්ටක් සෙල්ලම් කරලා එන්නද, පුරුදු යහළුවන් හා සැණිනේ...
එහෙම ගියත් ඒ අය, පොඩි සාදු කියා කියන විට, වැඳ වැටිලා......”
ළමා විය අහිමි වූ කුඩා සාමණේරවරුන්ගෙන් උසස් විනයක් අපේක්ෂා කරන, ගිහි සමාජයෙන් දුරස්ව පැවතිය යුතු සංඝ සමාජයක සැබෑ පාරිශුද්ධත්වය රැකගත හැක්කේ නීති සංශෝධනවලින් ඔබ්බට ගිය පුළුල් ආචාරධාර්මික පිබිදීමකින් පමණි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ඔක්තෝම්බර් 08




