The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආයු සහ බහුචිතවාදියා: සිනමාවෙන් මතුකෙරෙන තිත්ත දේශපාලනය | අතුලසිරි සමරකෝන්

තිරය මත දේශපාලනය මෙන්ම ලාංකේය සිනමා කර්මාන්තයේ වෙළඳපොළ සහ බල අරගලය විනිවිද දකින ගැඹුරු සිනමාත්මක විවරණයක්.

Pasan

Pasan

October 8, 2026 • 9:27 PM

ආයු සහ බහුචිතවාදියා: සිනමාවෙන් මතුකෙරෙන තිත්ත දේශපාලනය | අතුලසිරි සමරකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආයු සහ බහුචිතවාදියා එකිනෙක සමඟ තරග කරන චිත්‍රපට දෙකක් ලෙස නොව, සමකාලීන ශ්‍රී ලාංකික සිනමාව ගමන් කරන මාර්ග දෙකක් ලෙස කියවීම වඩාත් ඵලදායී යැයි සිතේ.
  • ඒවා නිෂ්පාදනය කිරීම, ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රේක්ෂකයා වෙත ළඟා කිරීම සිදුවන සිනමා කර්මාන්තයද වෙළඳපොළ, රාජ්‍යය සහ සංස්කෘතික බලවේග අතර ඇති සම්බන්ධතාවලින් හැඩගැසෙයි.
  • මෙම තර්කය තවත් වැදගත් වන්නේ සරසවිය සම්මාන ප්‍රතිඵලය තුළද එහි කිසියම් සංකේතාත්මක ප්‍රකාශනයක් දැකිය හැකි බැවිනි.
  • බහුචිතවාදියා හොඳම චිත්‍රපටය ලෙසත් ආයු හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමත්, සිනමා කෘතියක “සමස්ත දේශපාලනික හා සෞන්දර්යාත්මක වටිනාකම” සහ “අධ්‍යක්ෂණයේ කලාත්මක හැකියාව” එකම දෙයක් නොවන බව සිතීමට අවස්ථාවක් සපයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආයු සහ බහුචිතවාදියා එකිනෙක සමඟ තරග කරන චිත්‍රපට දෙකක් ලෙස නොව, සමකාලීන ශ්‍රී ලාංකික සිනමාව ගමන් කරන මාර්ග දෙකක් ලෙස කියවීම වඩාත් ඵලදායී යැයි සිතේ. බහුචිතවාදියා පවතින සමාජ-ආර්ථික ක්‍රමය, එහි සූරාකෑම, පාරිභෝජනවාදය, ලිංගිකත්වය, ආශාව සහ පන්ති සම්බන්ධතා විවෘතව ප්‍රශ්න කරන ක්‍රම විරෝධී සිනමාවක් ලෙස පෙනෙන අතර, ආයු එම ක්‍රමය විනාශ කිරීමට නොගොස්, විද්‍යාව, පවුල, විවාහය, ආගම සහ සමාජීය ආරක්ෂාව තිබියදීත් මිනිසාට තම ජීවිතය සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි බව පෙන්වන ක්‍රමය පිළිබඳ සංශයවාදී සිනමාවක් ලෙස කියවිය හැකිය.

එහෙත් මේ චිත්‍රපට දෙකේ දේශපාලනය තිරය මත පමණක් නොපවතී. ඒවා නිෂ්පාදනය කිරීම, ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රේක්ෂකයා වෙත ළඟා කිරීම සිදුවන සිනමා කර්මාන්තයද වෙළඳපොළ, රාජ්‍යය සහ සංස්කෘතික බලවේග අතර ඇති සම්බන්ධතාවලින් හැඩගැසෙයි. මේ නිසා ආයු සහ බහුචිතවාදියා පිළිබඳ සාකච්ඡාව අවසානයේ “හොඳම චිත්‍රපටය කුමක්ද?" යන ප්‍රශ්නයකට වඩා, “අප ජීවත් වන ක්‍රමය සිනමාවෙන් ප්‍රශ්න කරන්නේ කෙසේද, සහ එවැනි සිනමාවකට ජීවත් වීමට ඉඩ සලසන සිනමා පරිසරය කුමක්ද?” යන ප්‍රශ්නය වෙත ගෙන යා යුතුය.

මෙම තර්කය තවත් වැදගත් වන්නේ සරසවිය සම්මාන ප්‍රතිඵලය තුළද එහි කිසියම් සංකේතාත්මක ප්‍රකාශනයක් දැකිය හැකි බැවිනි. බහුචිතවාදියා හොඳම චිත්‍රපටය ලෙසත් ආයු හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමත්, සිනමා කෘතියක “සමස්ත දේශපාලනික හා සෞන්දර්යාත්මක වටිනාකම” සහ “අධ්‍යක්ෂණයේ කලාත්මක හැකියාව” එකම දෙයක් නොවන බව සිතීමට අවස්ථාවක් සපයයි. මෙය සම්මාන විනිශ්චය පිළිබඳ තීන්දුවක් නොව, චිත්‍රපට දෙක කියවීමට ඇති විවිධ නිර්ණායක පිළිබඳ ප්‍රශ්නයකි.

'ආයු' ඔක්තෝම්බර් 02 සිට යළිත් රිදී තිරයට


ආයු: අනියතභාවය හමුවේ ජීවිතය


ආයු HIV ආසාදනය වූ වෛද්‍යවරියකගේ කතාවක් ලෙස ආරම්භ වුවද, එහි ප්‍රධාන තේමාව රෝගය පමණක් නොවේ. නිශ්මිගේ ජීවිතය හරහා විද්‍යාව, විවාහය, පවුල, ආගම සහ පුද්ගල නිදහස යන සියල්ල ප්‍රශ්නකාරී වෙයි. වෛද්‍යවරියක ලෙස නිශ්මි නූතන විද්‍යාත්මක ලෝකය නියෝජනය කරයි. නමුත් ඇයටම තම ජීවිතය පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවීමෙන් විද්‍යාවේ සහ නූතන ජීවන ක්‍රමයේ පාලන හැකියාව පිළිබඳ සංශයක් මතු වේ. ඇගේ මවගේ චරිතය හරහා බෞද්ධ ආගමික ලෝකයද ඉදිරිපත් වේ.

රෝගය හා දුක හමුවේ ආගමික චාරිත්‍ර හා විශ්වාස වෙත යොමුවීම සමකාලීන මධ්‍යම පන්තියේ ආගමික සංවේදනයක් නිරූපණය කරයි. මෙහි පරස්පරතාව වැදගත්ය. බුදුදහම අනියතභාවය පිළිගැනීමට උගන්වන අතර, දෛනික ආගමික ජීවිතයේදී මිනිසා බොහෝවිට ආගම වෙත යන්නේ අනියතභාවයෙන් ආරක්ෂාවක් සොයා ගැනීමටය. ආයු මෙම පරස්පරතාවය දේශනයකට වඩා චරිත හා සිදුවීම් හරහා ඉදිරිපත් කරයි.


රූපය තුළ අනියතභාවය

ආයු හි වඩාත් ශක්තිමත් මානයක් වන්නේ එහි රූපමය භාෂාවයි. මුහුද, රළ, බුබුළු, වැස්ස, සරුංගල් සහ විනාශ වන වස්තූන් ජීවිතයේ අනියතභාවය පිළිබඳ කාව්‍යමය සංවේදනයක් ගොඩනඟයි. සචින් ආයුට ලබාදෙන සෙල්ලම් පංකාව මුහුදු රළින් විනාශ වීම එහි සරල නමුත් ප්‍රබල රූපකයකි.

ආදරයෙන් ලබා දෙන දෙයක් මොහොතකින් අහිමි වෙයි. එය අනියතභාවය පිළිබඳ දේශනයක් නොව, රූපයක් තුළින් අත්විඳීමට සලස්වන අදහසකි. ඒ නිසා ආයු හි බෞද්ධ සංවේදනය එහි ආගමික චරිතවලට පමණක් සීමා නොවී, එහි රූපමය ව්‍යුහය තුළද පවතී.


නිශ්මි සහ සචින්: නිදහස පිළිබඳ අත්හදා බැලීම


නිශ්මි සචින් වෙත යාම හුදෙක් ප්‍රේම සම්බන්ධතාවක් ලෙස කියවීම ප්‍රමාණවත් නොවේ. සචින් නියෝජනය කරන්නේ පවුල, වෘත්තිය, විවාහය සහ සමාජීය වගකීම්වලින් සාපේක්ෂව නිදහස් වූ ජීවන රටාවකි. ඒ නිසා නිශ්මි ඔහු වෙත ආකර්ෂණය වන්නේ පුද්ගලයෙකුට පමණක් නොව, ඔහු නියෝජනය කරන නිදහසටය. ගමන් කිරීම, වෙරළ, රාත්‍රී ජීවිතය සහ අලුත් අත්දැකීම් ඇගේ ආරක්ෂිත ජීවිතයෙන් තාවකාලිකව ඉවත් වීමේ මාර්ග බවට පත්වෙයි. නමුත් සචින්ගේ මරණය එම නිදහස පිළිබඳ romantic fantasy එකද ප්‍රශ්න කරයි. පවතින ජීවන ක්‍රමයෙන් පිටතට ගියද මිනිසාට අනියතභාවයෙන් පිටතට යා නොහැකිය.


බහුචිතවාදියා: ක්‍රමය ඇතුළත සිරවුණු මිනිසා


බහුචිතවාදියා මෙතැනින් වෙනස් වේ. එය පුද්ගලයාගේ පැවැත්මෙන් සමාජ ව්‍යුහය වෙත ගමන් කරයි. එය අසන්නේ, “මිනිසා මෙවැනි මිනිසෙකු බවට පත් කරන්නේ කුමන සමාජ-ආර්ථික ලෝකයද?” යන ප්‍රශ්නය හා බැඳුණ ප්‍රශ්නයක් නව  ආර්ථික, වාණිජ, තාක්ෂණික සහ සමාජීය සන්ධර්භයකදීය.  සචිතගේ චරිතය මේ ප්‍රශ්නයේ කේන්ද්‍රයයි. ඩිලිවරි බෝයි රැකියාව ඔහුව විවිධ සමාජ තලවල කාන්තාවන් වෙත ගෙන යයි. ලිංගික සම්බන්ධතා, ආර්ථික සංචලනය සහ විදේශගත වීමේ සිහිනය එකිනෙකට බැඳී පවතී.

එහෙත් සචිත එකවරම 'සූරාකන්නෙකු සහ සූරාකෑමට ලක්වන්නෙකු' වීම චිත්‍රපටයේ වැදගත්ම දේශපාලනික පරස්පරතාවකි.

ඔහුගේ ශ්‍රමය හා කාලය සූරාකනු ලබයි. නමුත් එම රැකියාව හරහා ඔහුට මෝටර්සයිකලය, සමාජීය ප්‍රවේශය සහ ලිංගික අත්දැකීම් වැනි අතිරික්තයන් ලැබේ. එම අත්දැකීම් ඔහුගේ ආශාව තවදුරටත් නිෂ්පාදනය කරයි—විදේශගත වීම, වැඩි මුදල් ඉපයීම සහ වෙනත් ජීවිතයක් සොයා යාම. ඒ නිසා සූරාකෑම සහ සතුට එකිනෙකට සම්පූර්ණයෙන් විරුද්ධ නොවේ. ධනවාදය මිනිසාගේ ශ්‍රමය පමණක් නොව, ඔහුගේ ආශාවද සූරාකයි.


වාමාංශය සහ ධනවාදය


ගිෆ්ට්නෙට් ආයතනයේ අයිතිකරුගේ චරිතය මෙම පරස්පරතාව තවත් ගැඹුරු කරයි. වාමාංශික මතවාදයක් සමඟ සම්බන්ධ පුද්ගලයෙකු වුවද, ඔහුගේ ආයතනික ක්‍රියාකාරිත්වය සූරාකෑමේ සම්බන්ධතාවලින් තොර නොවේ. මෙය චිත්‍රපටයේ දේශපාලනික සංකීර්ණත්වය පෙන්වන වැදගත් irony එකකි. 

ධනවාදය විවේචනය කරන පුද්ගලයාටම තම දෛනික ජීවිතයේදී ධනවාදී සම්බන්ධතා ප්‍රතිනිෂ්පාදනය කළ හැකිය. ඒ නිසා බහුචිතවාදියා සරල “පීඩකයා–පීඩිතයා” යන binary එකෙන් ඔබ්බට යයි.


ආශාව, තාක්ෂණය සහ නව ධනවාදය

එබැවින් බහුචිතවාදියා සරල මාර්ක්ස්වාදී ප්‍රවර්ගයේ චිත්‍රපටයක් ලෙස සීමා කළ නොහැකිය. එය ශ්‍රමය හා ප්‍රාග්ධනයට අමතරව ආශාව, ලිංගිකත්වය, පාරිභෝජනය, අන්තර්ජාලය සහ නව තාක්ෂණික ජීවිතයද එකට ගනී. 

නව ධනවාදය මිනිසාගේ ශ්‍රමය පමණක් නොව ඔහුගේ කාලය, අවධානය, ශරීරය, සබඳතා සහ ආශාවන්ද ආර්ථික සම්පත් බවට පරිවර්තනය කරයි. එවිට මූලික ප්‍රශ්නය වන්නේ: “මට අවශ්‍ය දේ ඇත්තටම මගේම ආශාවක්ද?” සචිතගේ විදේශගත වීමේ සිහිනයද මේ සන්දර්භය තුළ කියවිය හැකිය. එය පෞද්ගලික අභිලාෂයක් පමණක් නොව, දේශීය දරිද්‍රතාව සහ ගෝලීය පාරිභෝජන ආශාව අතර සම්බන්ධතාවයක ප්‍රතිඵලයකි.


සිනමාවේ දේශපාලනය තිරයෙන් ඔබ්බට

මෙතැනින් බහුචිතවාදියා සහ ආයු පිළිබඳ සාකච්ඡාව තවත් වැදගත් තලයකට ගමන් කරයි. චිත්‍රපටයක් පවතින ක්‍රමය විවේචනය කළත්, එය ප්‍රේක්ෂකයා වෙත ළඟාවන්නේ එම ක්‍රමයේම ආර්ථික හා වාණිජ ව්‍යුහයන් හරහාය. බහුචිතවාදියා නිර්මාණය කර අවසන් වුවද, එය පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ළඟාවීමට දිගු කාලයක් ගත විය. නිෂ්පාදන හා පසු නිෂ්පාදන ගැටලු, ප්‍රදර්ශනය සහ ප්‍රචාරණ වියදම්, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය එහි ගමනට බලපෑ බව වාර්තා වී ඇත.

මෙය එක් චිත්‍රපටයක ප්‍රශ්නයක් පමණක් නොවේ. එය සිනමා නිර්මාණ (කලා නිර්මාණ) ප්‍රදර්ශනයේ ආර්ථික දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයකි. සිනමා ශාලාවක් කලා ආයතනයක් මෙන්ම වාණිජ ආයතනයකි. එබැවින් තිර අවකාශය ප්‍රේක්ෂක ආකර්ෂණය සහ ආදායම් හැකියාව මත තීරණය විය හැකිය. එවිට විකල්ප හෝ වාණිජ වශයෙන් අනිශ්චිත චිත්‍රපටයකට ප්‍රේක්ෂකයා වෙත ළඟාවීමට ඇති අවකාශය සීමා විය හැකිය. එබැවින්, “ප්‍රේක්ෂකයා චිත්‍රපටය පිළිගත්තේ නැත” යන තීන්දුවට පෙර “ප්‍රේක්ෂකයාට එය දැකීමට අවස්ථාව ලැබුණේද?” යන්න ඇසිය යුතුය.


රාජ්‍යයේ සංස්කෘතික වගකීම

මෙහිදී ආයු වැනි චිත්‍රපටයකට වාණිජ හා ආයතනික අනුග්‍රහය ලැබීම ප්‍රශ්නයක් නොවේ. එය සිනමා කර්මාන්තයේ පැවැත්මට අවශ්‍ය දෙයකි. ප්‍රශ්නය වන්නේ එවැනි අවකාශ විවිධාකාර සිනමා කෘති සඳහාද විවෘතද යන්නයි. සිනමාව සම්පූර්ණයෙන් වෙළඳපොළට භාර දුන් විට, වාණිජ වශයෙන් සාර්ථක විය හැකි කෘතිවලට වැඩි අවකාශයක් ලැබීම ස්වභාවිකය. එහෙත් සිනමාව වෙළඳ භාණ්ඩයක් පමණක් නොවේ. එය සමාජයේ මතකය, පරිකල්පනය සහ විවේචනීය චින්තනය ගොඩනඟන සංස්කෘතික මාධ්‍යයකි.

ඒ නිසා රාජ්‍යයේ කාර්යය වෙළඳපොළ වෙනුවට තීරණ ගැනීම නොව, වෙළඳපොළ විසින් පමණක් ආරක්ෂා නොකරන සිනමාවට පැවැත්මේ හා ප්‍රදර්ශනයේ අවකාශයක් නිර්මාණය කිරීම විය යුතුය. විකල්ප ප්‍රදර්ශන ජාල, සිනමා උළෙල, විශ්වවිද්‍යාල හා සංස්කෘතික ආයතන, ඩිජිටල් සංරක්ෂණය සහ ස්වාධීන සිනමාව සඳහා අනුග්‍රහය ඒ සඳහා වැදගත් විය හැකිය.


සිනමාවටත් ක්‍රමයක් තිබේ

ආයු සහ බහුචිතවාදියා එකට කියවීමෙන් පෙනී යන්නේ සමකාලීන ශ්‍රී ලාංකික සිනමාවේ දේශපාලනය තිරය මත පෙන්වන දේශපාලනයට පමණක් සීමා නොවන බවයි. බහුචිතවාදියා ක්‍රමය ප්‍රශ්න කරයි—ශ්‍රමය, ශරීරය, ලිංගිකත්වය සහ ආශාව සූරාකන එහි ස්වභාවය හරහා. ආයු ක්‍රමයේ සීමාව ප්‍රශ්න කරයි—විද්‍යාව, පවුල, ආගම සහ සමාජීය ආරක්ෂාව තිබියදීත් මිනිසාට තම ජීවිතයේ අනියතභාවය පාලනය කළ නොහැකි බව හරහා.

බහුචිතවාදියා මුඛ්‍ය ලෙස “මිනිසා ජීවත් වන ක්‍රමය කුමක්ද?” යන ගැටලුව පිලිබදව සංකීර්ණ ගැටලුගත කිරීමක් කරන අතර ආයු මූලිකව  “එම ක්‍රමය තුළ මිනිසා ජීවිතය අත්විඳින්නේ කෙසේද?” යන ගැටලුව සිනමාත්මකව නිරූපණය කරන ආකාරය සමග පොර බදයි. නමුත් මේ දෙකෙන් පසුව තවත් ප්‍රශ්නයක් ඉතිරි වේ: “ක්‍රමය ප්‍රශ්න කරන සිනමාවට ජීවත් වීමට ඉඩ නොදෙන සිනමා ක්‍රමයක් තුළ, අපට අවශ්‍ය කුමන ආකාරයේ සිනමාවක්ද?”

එබැවින් ආයු සහ බහුචිතවාදියා සම්මාන ලැබූ චිත්‍රපට දෙකක් පමණක් නොවේ. ඒවා සමකාලීන ශ්‍රී ලාංකික සිනමාව එය විසින් ම නගන ගැටලු දෙකක් බවට පත්වෙයි. "ජීවිතය කෙසේ ජීවත් විය යුතුද?” සහ “එසේ ජීවත් වීමට මිනිසාට බල කරන ලෝකය කුමක්ද?”  සමහරවිට සමකාලීන සිනමාවේ විචාරාත්මක අවකාශය ඇත්තේ මේ ප්‍රශ්න දෙක අතරය.


(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්)

ආචාර්ය අතුලසිරි සමරකෝන්

Digital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk

View all stories by ආචාර්ය අතුලසිරි සමරකෝන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...