තිස් පස් වසරකට ඉහතදී අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබුනේ 2025 අගෝස්තු මාසයේදීය.
වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් පවසන්නේ පුද්ගලයන් හත් දෙනකුගෙන් ලබා ගත් ප්‍රකාශ ඇතුලත් වාර්තාවක් 2026 මාර්තු 31 වැනිදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අධිකරණයෙන් තවත් කාලය ඉල්ලා සිටි බවයි.
ඒ අනුව නඩුව 2026 ජුලි 28 තෙක් කල් දැමු කයිට්ස් මහේස්ත්‍රාත් අනීෆා රජීව් එදිනට යාපනයේ දුපත් කලාපයේ ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇති සමුහ මිනි වළවල් සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ කොට්ඨාසයට නියෝග කර තිබේ.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පුර්ණිමා මරියනාගයම් පවසන්නේ පැවති නඩු දිනයේ තමන් සමග අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රාදේශිය සම්බන්ධිකාරක සෙල්වකුමාර් ද අධිකරණය හමුවට ඉදිරිපත් වු බවයි.
එයට අදාලව කයිට්ස් පොලීසිය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව 2025 සැප්තැම්බර් 17 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුනේ එම ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තරම් නිලධාරීන් පිරිසක් සහ පහසුකම් සිය පොලිස්ථානය සතුව නොමැති බවයි. ඒ අනුව එම විමර්ශනය යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ කොට්ඨාසයට වෙත පැවරීමට අධිකරණය කටයුතු කර තිබුනි.





