LTTE සංවිධානය විසින් මරා වල දමන ලද බවට චෝදනා කෙරුණු 150කට අධික මුස්ලිම් හජ්ජි වන්දනාකරුවන් පිරිසක සිරුරු ඇති බව පැවසුණු එම භුමියේ විමර්ශන කටයුතු සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ලක්ෂ විසි අටකි.
සමුහ මිනීවළක් සෙවීම සඳහා අහම්බෙන් ඇටසැකිලි හමු නොවී අධිකරණ අධීක්ෂණයෙන් කැනීම් ආරම්භ කොට අපරාධයක් සිදුවූ බවට සාක්ෂි නැතිව වසා දමන්නට සිදුවූ ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය වන්නේ මඩකලපුවේ කුරුක්කල්මඩමයි.
ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් හි භුමි භාගයක කැනීම් කටයුතු 2026 මාර්තු 30 වැනි සඳුදා ආරම්භ කෙරුනේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ හා වෛද්‍ය සහ නීති විශේෂඥයන් එකොලොස් දෙනකුගේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් සහභාගිත්වයෙනි.
කැනීම් කටයුතු ආරම්භ කර තෙදිනක් සම්පුර්ණ වන 2026 අප්‍රේල් 1 වැනිදා හවස් යාමයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ කැනීම් කටයුතු සදහා හදුනාගත් භුමිය අඩි හයක් පමණ ගැඹුරට හෑරීමේදී මුහුදු ජලය මතු වීමත් සමග විශේෂඥ උපදෙස් පරිදි කැනීම් කටයුතු නවතා දැමු බවයි.

"අද දවසේ මීටර් දෙකක් ගැඹුරට කැණීම් සිදු කළා. කැණීම් වළ ජලයෙන් පිරීම නිසා කැණීම් දිගටම කරගෙන යාමෙන් පලක් නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ තීරණය අනුව කැණීම් කටයුතු අද අවසන් කරා."
කැනීම් සඳහා තෝරාගෙන තිබු භුමියේ මීටර් 5 ක් දිග, මීටර් 5 ක් පළල සහ අඩි 9 ක් ගැඹුරට කැනීම් කිරීමට අධිකරණ අවසරය හිමිව තිබුනි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් පළාත් බද මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් දැනුම් දී තිබුනේ කැනීම් කටයුතු සිදු කළ ප්‍රදේශය අවට තවත් ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදු කළ යුතු බවට පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් අධිකරනයෙන් කර ඇති ඉල්ලීම අනුව එම භුමිය ස්කැන් පරීක්ෂාවකට ලක් කිරීම සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසුව සිදු කරනු ඇති බවයි.
"මෙම ප්‍රදේශය අසල වෙනත් ප්‍රදේශයක කැණීම් කටයුතු සිදු කළ යුතු බවට පැමිණිලිකරු අධිකරණයට දන්වා තිබෙනවා. GPR ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණය නියෝගයක් තියනවා. අප්‍රේල් අලුත් අවුරුද්දෙන් පස්සේ සැක සහිත ප්‍රදේශයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරාවි. මිනිස් අවශේෂ හෝ වෙනත් අවශේෂ සොයා ගැනීමකින් තොරව කැණීම් කටයුතු අද අවසන් කරා."

ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී සමූහ මිනීවලක් පාදා ගැනීමට කැනීම් ආරම්භ කළ පළමු ස්ථානය මෙය වන්නේය. මීට ඉහතදී උතුරේත්, කොළඹත්, සාම්පුර්හිත්, මාතලේත් එවැනි විමර්ශන ආරම්භ කෙරුනේ අහම්බයකින් මිනිස් ඇටකටු මතුවීමෙන් අනතුරුවයි.
සමුහ මිනී වළක් ඇති බව පැවසෙන එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් රජයේ නිලධාරීන්ට නියෝග කර තිබුනි.
දශක තුන හමාරකට ඉහත දී සිදු වු එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.
2014 සංචාරක අධිකරණයේ
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 1990 වසරේ හජ් වන්දනාව අවසන් කර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කර කුරුක්කල්මඩම්හි වළ දමා ඇති බවට ප්‍රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කර තිබු බවයි.
එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු ඒ.එම් රියාල් නියෝග කළත් එම කටයුතු සිදු නොවු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව එකොලොස් වසරකට පසුව 2025 ජුලි 11 වැනි දින සිට විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගැනීම ආරම්භ කර තිබුනි.
සබැඳි :
සමූහ මිනීවලක් ඇතැයි සැක කුරුක්කල්මඩමේ කැනීම් ඇරඹේ




