අප්‍රේල් පළමු වන දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ 'කලම්බෝ ක්ලබ් -Colombo Club) පරිශ්‍රයේදී පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවකදී ඔහු දැක්වූ අදහස්, ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට මෙන්ම නව ලෝක බල තුලනය පිළිබඳවද පුළුල් කියවීමක් ලබා දුන්නේය.

හදිස්සියකට විතරක් නෙවෙයි අපිත් එක්ක දිගටම ඉන්න
වත්මන් ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් රුසියාව සිය පූර්ණ සහයෝගය පළ කර සිටී.
නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඇමෙරිකානු සම්බාධක හමුවේ වුවද ඇතැම් තාවකාලික ලිහිල් කිරීම් මත යැපෙනවාට වඩා, රුසියාව සමඟ දිගුකාලීන බලශක්ති ගිවිසුම්වලට එළඹීම ශ්‍රී ලංකාව වැනි රටවල තිරසර පැවැත්මට වඩාත් හිතකර වන බවයි.
හදිසි අවශ්‍යතාවක් පැනනැගුණු විට පමණක් සිදුකරන වෙළඳාමට (spot trade) වඩා ස්වෛරී ප්‍රතිපත්තියක් මත පදනම් වූ දිගුකාලීන සබඳතා රුසියාව අපේක්ෂා කරයි.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් රුසියානු විශේෂඥ දැනුම ලබාදීමටද ඔහු කැමැත්ත පළ කළේය. විශේෂයෙන්ම, දැනටමත් රුසියාවේ සයිබීරියානු කලාපයේ සාර්ථකව ක්‍රියාත්මක වන “පාවෙන කුඩා න්‍යෂ්ටික බලාගාර” (Floating Small Modular Nuclear Plants) තාක්ෂණය ආසියානු රටවලට ඉතා යෝග්‍ය බව ඔහු අවධාරණය කළේය.
රුසියානු සංචාරකයන්ට ගනුදෙනු කළ හැකි කාඩ්පත් ගෙවීම් පද්ධතියක්
ආයෝජන සහ සංචාරක කර්මාන්තය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර ඍජු ගුවන් ගමන් වාර ගණන ස්ථාවරව පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම රුසියානු සංචාරකයන්ට ගනුදෙනු කළ හැකි කාඩ්පත් ගෙවීම් පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මීට අමතරව, කොළඹ වරාය නගරය (Port City) රුසියානු ආයෝජකයන්ට විවර කිරීම පිළිබඳව පිළිබඳවද ප්‍රශ්න කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඩොලරයේ ආධිපත්‍යය බිඳවැටීම ගැන අදහසක්
ලෝකයේ බල තුලනය බහුධ්‍රැවීය පද්ධතියක් කරා ගමන් කරමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාත්‍යන්තර වෙළඳාම තුළ අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යය ශීඝ්‍රයෙන් බිඳවැටෙමින් පවතින බව සංඛ්‍යාත්මකව පැහැදිලි කළේය. ඔහුට අනුව රුසියාව සහ චීනය අතර වෙළඳ ගනුදෙනුවලින් බහුතරය මේ වන විට සිදු කරන්නේ ඔවුන්ගේ ජාතික මුදල් ඒකකවලිනි.
BRICS සංවිධානය වැනි එකමුතු හරහා ගෝලීය දකුණේ රටවලට සිය අභිමතාර්ථයන් සාධනය කරගැනීමට විශාල අවකාශයක් නිර්මාණය වී ඇති බවත්, අනාගත ලෝක බලවේගයේ කේන්ද්‍රය රුසියාව, ඉන්දියාව සහ චීනය (RIC) එකමුතුව මත පදනම් වනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය දියවීම
දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්තමානය වන විට ප්‍රබල රාජ්‍යයන් අතර පවතින ගැටුම් හේතුවෙන් සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ අදහසයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනිවාර්යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු බව පවසන රුසියාව, එහිදී ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරන ‘ගෝලීය දකුණේ’ (Global South) රටවලට නිසි නියෝජනයක් හිමිවිය යුතු බව තරයේ අවධාරණය කරයි.
ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවලට එහි සාමාජිකත්වය ලබාදීමට රුසියාව පූර්ණ සහයෝගය දක්වන නමුත්, ගෝලීය සුළුතරය (Global Minority) නියෝජනය කරන ජර්මනිය හෝ ජපානය වැනි රටවල අභිලාෂයන්ට සහාය නොදක්වන බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේය.
ඉරන බුද්ධි තොරතුරු බෙදාගැනීමේ චෝදනවට උත්තර
වත්මන් යුදමය වාතාවරණයන් පිළිබඳව රුසියානු ස්ථාවරය මෙහිදී ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කෙරිණි.
ඉරානය සහ ඇමෙරිකාව-ඊශ්‍රායලය අතර පවතින ගැටුමේදී, ඉරානය යනු කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව නීතිවිරෝධී ප්‍රහාරයකට ලක්වූ වින්දිතයෙකු බවත්, ටෙහෙරානය සිදු කරන්නේ සිය ස්වයං-ආරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් රුදෙන්කෝ මහතා අවධාරණය කළේය.
ඉරානයට එරෙහිව දියත් කර ඇති ආක්‍රමණශීලී යුද්ධය ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවටද බරපතල තර්ජනයක් බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, රුසියාව විසින් ඉරානයට බුද්ධි තොරතුරු සපයන්නේ යැයි එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ඔහු, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් රුසියාවේ සිවිල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේනයට ඍජුවම බුද්ධි තොරතුරු සපයන බවට පෙරළා චෝදනා කළේය.
පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ලද මෙම ඓතිහාසික කතිකාව මෙහෙයවනු ලැබුවේ එහි සභාපති බර්නාඩ් ගුණතිලක විසිනි. මෙම අවස්ථාවට, රුසියානු තානාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික විශේෂඥයන් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයන් රැසක් ද සහභාගී වී සිටියහ.
තීරණාත්මක සංක්‍රාන්ති සමයක පවතින ලෝක දේශපාලනය තුළ ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය හැඩගස්වා ගත යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාව හරහා පුළුල් කවුළුවක් විවර විය.
(lankalokaya | චමිඳු නිසල් ද සිල්වා)




