එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිලිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සතිය තුළ අවස්ථා දෙකකදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත විය.
සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන්ගේ සෘණාත්මක ප්‍රතිචාර සැළකිල්ලට ගනිමින් මෙලෙස යළි වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පැවසීය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කර ඇති නිවේදනය දැක්වෙන්නේ, නීත්‍යානුකූල සහ පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් ශ්‍රේණිධාරී වෛද්‍යවරුන්ගෙ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන මැදිහත්වීම් හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අක්‍රමිකතාවන්ට විරුද්ධව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කර ඇති බවයි.
මෙම අනීතික සහ අත්තනෝමතික ක්‍රියාවන් නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වගකිවයුත්තන් පියවර නොගැනීමේ පසුබිමක, අද සෙනසුරාදා දින (04) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කර ඇති බවත්, ඒ අනුව අද දින උදෑසන 08.00 සිට මෙරට සියලුම රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතන වල සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම ඇනහිටින අතර, හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත්, මෙම වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට යම් පීඩාවක් සිදුවේ නම්, එහි සම්පූර්ණ වගකීම වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියට දේශපාලන අතපෙවීම් සිදුකළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් භාරගත යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
'විධිමත් මාරුකිරීමේ යාන්ත්‍රණයක් සකස්කර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා' - සෞඛ්‍ය ඇමති
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද රට පුරා සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා (මාර්තු 31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, වෛද්‍ය නිලධාරීන් සඳහා විධිමත් මාරුකිරීමේ යාන්ත්‍රණයක් සකස්කර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
පෙබරවාරි පළමු සතියේ මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බව සඳහන් කරමින් මැයි 10 වැනි දින වන විට වෛද්‍යවරුන් 6,000 ක් පමණ මාරුකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
දැනට ක්‍රියාත්මක වන මාරුකිරීමේ ක්‍රියාවලිය ඔස්සේ, අදාළ සංගම් විසින් අසාධාරණයට ලක් වූ බොහෝ වෛද්‍යවරුන්ට යුක්තිය ඉටුකරන බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.




