අති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් විසින් විශ්වවිද්‍යාලයේ කළ නිල සංචාරයට සමගාමීව විශ්වවිද්‍යාලයේ Anselm ගොඩනැගිල්ලේ පිහිටි දේවස්ථානයේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.
ජාත්‍යන්තරව ලබා දුන් අධ්‍යාත්මික නායකත්වය, අන්තර් ආගමික සහජීවනය, අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය සඳහා දශක ගණනාවක් පුරා හිමිපාණන් විසින් ලබා දුන් දායකත්වය මෙහිදී ඇගයීමට පාත්‍ර විය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති සහ බස්නාහිර පළාතේ සංඝනායක අති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් ආගමික හා සමාජීය ක්ෂේත්‍රයන්හි නියැලෙන සුවිශේෂී චරිතයක් වන අතිපූජ්‍ය කිරින්දේ අස්සජි සවාමීන් වහන්සේ සාමය, දයාව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජීවිත කාලය පුරා සිදු කළ කැපවීම මෙන්ම ග්‍රාමීය ප්‍රජාවන් නඟා සිටුවීම, කාන්තාවන් සහ දරුවන් බලගැන්වීම සහ තිරසාර සංවර්ධන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සිදු කළ දායකත්වය ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවය අරමුණ විය.
” දහස් ගණනක ජීවිත ආලෝකමත් කළ ආධ්‍යාත්මික ප්‍රඥාව සහ ප්‍රායෝගික නායකත්වයේ සංයෝජනයක් අතිපූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ තුළින් විද්‍යමාන වන බව එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලයේ බලධාරීන් මෙහිදී සඳහන් කළේය.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා මෙහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික සම්ප්‍රදායන් සඳහා ගෝලීය බලපෑම පිලිබඳ විශේෂ දේශනයක් ද පැවැත්විය.
මෙහිදී අදහස් දැක්වූ සම්මානිත ආචාර්ය අස්සජි හිමිපාණන් සම්මානය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර, මෙම ගෞරවය තමාට පමණක් නොව, උන්වහන්සේ තම ජීවිත කාලය පුරා සේවය කළ ප්‍රජාවන්ට අයිති දෙයක් ලෙස සඳහන් කළහ.
වර්තමානයේ බෙදී ගිය ලෝකය හමුවේ බෞද්ධ ඉගැන්වීම්වල අදාළත්වය අවධාරණය කළ උන්වහන්සේ, “සැබෑ සාමය ආරම්භ වන්නේ අප තුළමයි. මනසෙහි සාමය ඇති විට, ලෝකයේ සාමය පවතිනු ඇත.” යනුවෙන් පැවසූහ.
තිරසාර ප්‍රගතියක් අත්කර ගත හැක්කේ අනුකම්පාව, අවබෝධය සහ ප්‍රඥාව තුළින් පමණක් බව සඳහන් කළ උන්වහන්සේ, සදාචාරාත්මක හා අධ්‍යාත්මික වටිනාකම් සමඟ නවීන අධ්‍යාපනය ඒකාබද්ධ කිරීමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කළහ.
සිය කතාව අවසන් කළ ආචාර්ය අස්සජි හිමිපාණන්වහන්සේ,
“මෙම ගෞරවය මට පමණක් අයිති දෙයක් නොවේ. මෙම ගමනේ කොටසක් වූ සෑම පුද්ගලයෙකුටම එය අයිති විය යුතු යැයි පැවසීය.
මෙම සම්මානය ශ්‍රී ලංකාවට පමණක් නොව පුළුල් ජාත්‍යන්තර ප්‍රජාවට අර්ථවත් මොහොතක් සනිටුහන් කරන අතර, අනාගතය හැඩගැස්වීමේදී සාමය, දයානුකම්පාව සහ මානව වටිනාකම්වල වැදගත්කම තවදුරටත් තහවුරු කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සංස්කෘතික හා ශාස්ත්‍රීය සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම සංචාරයට එක් වූ ආචාර්ය අස්සජි හිමිපාණන්, අන්තර් ආගමික සංවාද මෙන්ම, විශ්වවිද්‍යායේ සහ සම්ප්‍රදායන් සංකේතවත් කරන කැන්ටබරි ආසන දෙව්මැදුරේ සංචාරයකට ද සහභාගී විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික කාර්ය සාධක බලකායේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකාවේ IDM Nations Campus International හි සභාපති ආචාර්ය ජනගන් විනයාගමූර්ති, උපකුලපති මහාචාර්ය රාමා තිරුනාමචන්ද්‍රන්, උපකුලපති මහාචාර්ය Mohamed Abdel-Maguid ඇතුළු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්, ශාස්ත්‍රීය නායකයින්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙන්ම ප්‍රජා නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.




