විදුලි බිල ඉහළ දමන්න රජය තීරණය කරල තිබෙනවා. මේ වැඩි කිරීම සාධාරණ ද අසාධාරණ ද?
චානක මාදුගොඩ :
සම්පූර්ණයෙන්ම අසාධාරණයි. මේක ජනතාව මත පටවන අසීමිත බරක්. පාලකයන්ගේ දූෂණය, නාස්තිය සහ කළමනාකරණ දුර්වලතා නිසා සිද්ධ වුණ පාඩුව අද අහිංසක ජනතාවගේ කරපිට පටවලා.
මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැතුව ඉන්න වෙලාවක, විදුලි බිල වැඩි කරලා ඔවුන්ව තවත් අගාධයට ඇද දමන එක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැහැ.
විදුලිබිල වැඩිකළේ බාල ගල්අඟුරු නිසාද?
චානක මාදුගොඩ:
බාල ගල්අඟුරු මේ සඳහා බලපාන ප්‍රධාන කරුණක්. මේක පිටුපස තියෙන්නේ මහා පරිමාණ දූෂිත ගනුදෙනු. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙනැල්ලා පූර්ණ ධාරිතාවෙන් විදුලි ජනනය කරගන්න බැරි වුණාම ඒ සඳහා ඩීසල් භාවිත කරන්න වෙනවා. ඒක අධික වියදමක්. ඒ පාඩුව පියවා ගන්න බලධාරීන් කරන්නේ බිල වැඩි කරන එක.
ඇමතිවරුන්ගේ සාක්කු පිරෙනකොට ජනතාව කරුවලේ ඉඳගෙන වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා. මේක ඛේදවාචකයක්. ජනතාව පතපු වෙනස මේක නෙවෙයි.
ඉදිරියේදී විදුලි කප්පාදුවක් ඇති වේවිද?
චානක මාදුගොඩ :
බිල වැඩි කළාට විදුලිය දෙනවා කියලා සහතික වෙන්න මේ රජය සහතික කරලා නැහැ. පාර්ලිමේන්තුවේ විදුලිය කපන්න වුණත් වෙන්න පුළුවන් කියලා විෂය භාර ඇමැතිවරයා කීවා. විදුලි කප්පාදුව මේ පාලනයේ අසාර්ථකත්වයේ සංකේතයක්. සැලසුම් සහගතව බලශක්ති අර්බුදය විසඳනවා වෙනුවට, ඔවුන් කරන්නේ දවසින් දවස ප්‍රශ්නය කල්දාන එක වගේම අනුවණ ලෙස තීරණ ගන්න එක. ඒත් විදුලිය තියෙයි ද නැද්ද කියන එක තවමත් අවිනිශ්චිතයි.
ජනතාවට තෙල් ඉතිරි කරන්න කියලා ඇමැතිවරු යන්නේ වී.8 වලින් නේද?
චානක මාදුගොඩ :
මේක තමයි මේ රජයේ තියෙන ලොකුම විහිළුව සහ කුහකකම. සාමාන්‍ය මිනිහට බයිසිකලේ යන්න කියන, පටි තද කරගන්න කියන ඇමැතිවරු, මහජන මුදලින් සුපිරි වාහන පාවිච්චි කරමින් රජ සැප විඳිනවා. තෙල් පෝලිම් තියෙන්නේ ජනතාවට මිසක් ඇමතිවරුන්ට නෙවෙයි. මේ පාලකයන්ට ජනතාවගේ දුක දැනෙන්නේ නැහැ, ඔවුන් ඉන්නේ පොළොවේ පය ගහලා නෙවෙයි. ඔවුන් ජනතාව වෙනුවෙන් කිසිවක් කැප කරලා නැහැ.
බලශක්ති ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට මොකද වෙන්නේ, විපක්ෂයට දිනන්න පුළුවන් වෙයි කියල හිතනවද?
චානක මාදුගොඩ :
විශ්වාසභංගය දිනනවාද පරදිනවාද කියන එකට වඩා වැදගත් වෙන්නේ, ජනතාවට මේ ඇමැතිවරයා සහ රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති එකයි. විපක්ෂය විදිහට අපි උපරිම බලය යොදවනවා මේ අසාධාරණයට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නගන්න. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් තවදුරටත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ විනාශයට සහය දෙන්න බැහැ. ජනතාවගේ පැත්තේ හිටගන්නවාද, දූෂිත පාලනයක් රකිනවාද කියන එක එදාට තීරණය වෙයි.
(සාකච්ඡා සටහන | කළණි රසංගා - කැලණිය විශ්වවිද්‍යාලය)




