ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව ‘දුල් හජ්’ මාසයේ 10 වැනි දිනයේදී මෙම ආගමික උත්සවය ලොව පුරා වෙසෙන ඉස්ලාම් භක්තිකයන් විසින් සමරනු ලබයි.
ඉස්ලාමයේ පස්වැනි වගකීම සහ පරිත්‍යාගයේ අර්ථය
ඉස්ලාම් දහමේ දැක්වෙන, සෑම මුස්ලිම් බැතිමතෙකුම අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් (කුළුණු) පහ අතරින් අවසන් වගකීම වන්නේ හජ් වන්දනාවයි.
ආර්ථික හා ශාරීරික ශක්තිය ඇති සෑම මුස්ලිම්වරයෙකුම තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ මෙම වන්දනාව සිදු කිරීම අනිවාර්ය වේ. ඉබ්‍රාහිම් නබිතුමා සහ ඔහුගේ පවුලේ අය දෙවියන් වෙනුවෙන් සිදුකළ අසිරිමත් පරිත්‍යාගයන් සිහිපත් කිරීම මෙම උත්සවයේ මූලික අරමුණයි.
සහෝදරත්වය සහ සමානාත්මතාවයේ පණිවිඩය
දුප්පත් පොහොසත්, කුලමල හෝ ජාති භේදවලින් තොරව සැමට සමානාත්මතාවයෙන් සැලකීම, සහෝදරත්වය සහ සහජීවනය වර්ධනය කරගැනීම හජ් උත්සවයේ ප්‍රධාන පණිවිඩයයි.
මෙහිදී බැතිමතුන් තමන් සතු දෙයින් කොටසක් අගහිඟකම් ඇති පිරිස් වෙත බෙදා දෙමින් පරිත්‍යාගශීලීත්වය ප්‍රායෝගිකව සමාජයට පෙන්වා දෙයි.
මක්කම ශුද්ධ වූ භූමියේදී උත්කර්ෂවත් සැමරුම
සෞදි අරාබියේ මක්කම නුවර පිහිටි ශුද්ධ වූ කාබා දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හජ් වන්දනාව මෙම උත්සවයේ උත්කර්ෂවත්ම අවස්ථාවයි. ලොව පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත මුස්ලිම් බැතිමතුන් පිරිසක් එකම සුදු වස්ත්‍රයෙන් සැරසී, එකම ස්ථානයකට රැස්ව මෙලෙස වන්දනාමාන කිරීම ලෝක සහෝදරත්වය මූර්තිමත් කරන සුවිශේෂී දසුනක් ගෙනහැර දක්වයි.
ජනාධිපතිගේ හජ් දින සුබපැතුම් පණිවිඩය
ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් අද (28) සමරන උතුම් හජ් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ වත්මන් ගෝලීය අර්බුද හමුවේ වුවද සාමය, සහෝදරත්වය සහ පරාර්ථකාමීත්වය රජයන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැගීමට හජ් සැමරුමේ මගපෙන්වීම් ජීවිතවලට සමීප කරගත යුතු බවයි.
ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩය මතු පළවේ.
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.
වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.
එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්‍රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්‍යාගය සහ කැපකිරීමයි.
අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු'යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.
ඊද් මුබාරක් !
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මැයි 28 දින




