The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
සාහිත්‍ය - කලා

මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon

Awara

Awara

October 6, 2026 • 11:57 AM

මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සිනමාව තුළ ජීවිත කතා සිනමාවට නැගීමේ නව ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ.
  • අතීතකාමය අවුලුවන ගීතාවලියක් ‘එදා රෑ’ ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගැනීමට සමත් වී ඇති බවට සැකයක් නැත.
  • එම ගීත හඳුනාගන්නා, ඒවා සමඟ පෞද්ගලික මතක ඇති, මිල්ටන්ගේ රුව හා හඬ තමන්ගේ තරුණ වියේ කොටසක් ලෙස අත්විඳි පිරිසකට චිත්‍රපටයේ ගීතමය ලෝකය විශාල ආකර්ෂණයක් ලබාදෙයි.
  • චිත්‍රපටයකට ඒ සියල්ල ඇතුළත් කළ නොහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ සිනමාව තුළ ජීවිත කතා සිනමාවට නැගීමේ නව ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. කලාකරුවන්ගේ ජීවිත, විශේෂයෙන්ම ජනප්‍රිය ගායකයන්ගේ සහ සංගීතඥයන්ගේ ජීවිත, ඔවුන්ගේ ගීත, ප්‍රේම සබඳතා, මිතුරු සබඳතා සහ ජනප්‍රියත්වය සමඟ නැවත නිර්මාණය කිරීම එහි එක් කැපී පෙනෙන ලක්ෂණයකි. ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිතය සිනමාවට නැගීමෙන් පසු දැන් මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතය පාදක කරගත් ‘එදා රෑ’ ද පුළුල් ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබේ.

අතීතකාමය අවුලුවන ගීතාවලියක්

‘එදා රෑ’ ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගැනීමට සමත් වී ඇති බවට සැකයක් නැත. මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත සමඟ දශක ගණනාවක් තිස්සේ බැඳී සිටි ප්‍රේක්ෂක පරම්පරාවකට මෙය තමන්ගේ අතීතයට නැවත යාමේ අවස්ථාවකි. එම ගීත හඳුනාගන්නා, ඒවා සමඟ පෞද්ගලික මතක ඇති, මිල්ටන්ගේ රුව හා හඬ තමන්ගේ තරුණ වියේ කොටසක් ලෙස අත්විඳි පිරිසකට චිත්‍රපටයේ ගීතමය ලෝකය විශාල ආකර්ෂණයක් ලබාදෙයි. චිත්‍රපටය ගීත විසි ගණනක් නැවත සංගීතවත් කර තිබීමෙන්ම එහි ප්‍රධාන අවධානය කුමක්දැයි පැහැදිලි වේ.

එහෙත් මෙහිදී වෙනත් ප්‍රශ්නයක් ද මතුවේ. ‘එදා රෑ’ අපට ඉදිරිපත් කරන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතයද? නැතහොත් මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳව අප තුළ දැනටමත් පවතින ජනප්‍රිය මතකයද? මෙය චිත්‍රපටයට විරුද්ධව නගන ප්‍රශ්නයක් නොවේ. එය චිත්‍රපටයේ සැබෑ ස්වභාවය හඳුනාගැනීමට අවශ්‍ය ප්‍රශ්නයකි.

ජීවිත කතාවක් සිනමාවට නැගීමේ සීමාව

ජීවිත කතාවක් සිනමාවට නැගීම යනු සිදුවීම් කිහිපයක් අනුපිළිවෙළින් රූගත කිරීම පමණක් නොවේ. සැබෑ පුද්ගලයෙකුගේ ජීවිතය අතිශය සංකීර්ණය. එහි ජයග්‍රහණ තිබේ; පරාජයන් තිබේ. ප්‍රේමය තිබේ; තනිකම තිබේ. දක්ෂතාව මෙන්ම දුර්වලතා ද තිබේ. පෞද්ගලික ජීවිතය හා පොදු ජීවිතය එකිනෙක ගැටෙන අවස්ථා අනන්තවත් තිබේ.

චිත්‍රපටයකට ඒ සියල්ල ඇතුළත් කළ නොහැකිය. එබැවින් සිනමාකරුවා තෝරාගැනීමක් කරයි. සමහර සිදුවීම් විශාල කරයි. සමහර දේ කෙටි කරයි. තවත් සමහරක් මුළුමනින්ම අතහැර දමයි. තවත් කරුණු අතර නව සම්බන්ධතා ගොඩනගයි. ඒ නිසා බයොපික් (Biopic) එකක් කිසි විටෙකත් පුද්ගලයාගේ මුල් ජීවිතයම නොවේ. එය එම ජීවිතය පිළිබඳව ප්‍රතිනිර්මාණය කරන ලද සිනමා අනුවාදයකි.

සැබෑ මිනිසුන් සහ ජනප්‍රිය ප්‍රතිරූප

‘එදා රෑ’ දෙස බැලීමේදී මේ වෙනස විශේෂයෙන් වැදගත්ය. චිත්‍රපටය මිල්ටන්ගේ ජීවිතයේ ජනප්‍රිය හා රසවත් අවස්ථා ගණනාවක් එකට ගෙන එයි. ඔහුගේ අසල්වාසී මිතුරු සංසදය, සංගීත කණ්ඩායම, ප්‍රේම සබඳතා, සංගීත ලෝකය, ජනප්‍රියත්වය සහ ඔහු වටා සිටි ප්‍රකට පුද්ගලයන් එහි වැදගත් ස්ථානයක් ගනී. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර, නවලෝක මුදලාලි වැනි චරිත හරහා එම යුගයේ ජනප්‍රිය සංස්කෘතික පරිසරය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ කරයි.

එහිදී තවත් සිත්ගන්නාසුලු දෙයක් සිදුවේ. සැබෑ පුද්ගලයන් සිනමා චරිත බවට පත්වන විට ඔවුන්ගේ සංකීර්ණ මිනිස් ස්වභාවය වෙනුවට, සමාජයේ දැනටමත් මුල්බැසගත් ජනප්‍රිය ප්‍රතිරූපය ඉදිරියට පැමිණේ. එවිට ඔවුන් චරිතවලට වඩා විකට රූප (caricature) බවට පත්වීමේ අවදානමක් පවතී. මෙය චරිතාපදාන සිනමාවේ මූලික උභතෝකෝටිකයකි. සැබෑ පුද්ගලයා සහ ඔහුගේ ජනප්‍රිය ප්‍රතිරූපය අතර ඇති පරතරය සිනමාව කොතෙක් දුරට සමනය කරන්නේද යන්න ගැටලුවකි.


‘එදා රෑ’ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය තවත් බරපතළ වන්නේ මිල්ටන් යනු සාමාන්‍යයෙන් අපට ඔහුගේ පෞද්ගලික ජීවිතයට වඩා ඔහුගේ අද්විතීය හඬින්ම මතකයේ රැඳුණු කලාකරුවෙකු වන බැවිනි.

ගීතය භාවිත වන්නේ චරිතය විවරණයටද?

මිල්ටන් යනු ඔහු ගැයූ ගීතවලින් වෙන් කළ නොහැකි චරිතයකි. ඒ නිසා ඔහුගේ ගීත චිත්‍රපටයට ඇතුළත් කිරීම ස්වභාවිකය. ගැටලුව වන්නේ ගීත තිබීම නොවේ. එම ගීත චිත්‍රපටය තුළ සිදුකරන කාර්යභාරය කුමක්ද යන්නයි.

ගීතය මඟින් චරිතය විවරණය කරන්නේද? නැතහොත් චරිතය හුදෙක් ගීතයට සම්බන්ධ කිරීමට පමණක් භාවිත කරන්නේද? මේ දෙක අතර පැහැදිලි වෙනසක් තිබේ. මිල්ටන්ගේ ජනප්‍රිය ගීතයක් සුදුසු තැනක ඇසෙන විට ප්‍රේක්ෂකයා තුළ නිදන්ගත පැරණි මතකය ක්ෂණයකින් අවදි වේ. එය ඉතා බලවත් සිනමා උපක්‍රමයකි. එහෙත් එම ගීතය මිල්ටන්ගේ සෞන්දර්යාත්මක ලෝකය, ඔහුගේ ගායන ශෛලිය, හඬෙහි සුවිශේෂත්වය, එදා සංගීත කර්මාන්තය සහ ඔහුගේ කලාත්මක තේරීම් පිළිබඳව ගැඹුරු කියවීමකට මගපාදන්නේ නම් පමණක් එය චරිතාපදාන සිනමාපටයක් ලෙස පියවරක් ඉදිරියට තබයි.
නැතහොත් සිදුවන්නේ ජනප්‍රිය ගීත විස්සකට වැඩි ගණනක් එකතු කර, ඒවාට දෘශ්‍ය රූප නිර්මාණය කර, ප්‍රේක්ෂකයා තුළ නොස්ටැල්ජියාව (Nostalgia) උද්දීපනය කිරීම පමණි. එය මුළුමනින්ම වරදක් නොවේ. එහෙත් එය සිනමා නිර්මාණයක සම්පූර්ණ විභවතාව නොවේ. මේ නිසා ‘එදා රෑ’ පිළිබඳ විචාරය කළ යුත්තේ “ගීත හොඳද?”, “රොෂාන් රවීන්ද්‍ර මිල්ටන් වගේද?”, “පැරණි ගීත නැවත අහන්න ලැබීම සතුටක්ද?” යන සරල මතුපිට ප්‍රශ්නවලින් පමණක් නොවේ.

කලාකරුවා ස්ථානගත වන්නේ කොතැනද?

අපට තවදුරටත් අසන්නට වන්නේ, මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවෙකු ලෙස ස්ථානගතව ඇත්තේ කොහේද යන්නයි. මෙය චිත්‍රපටයේ වඩාත් වැදගත් අඩුවක් ලෙස කියවිය හැකි ඉඩකඩකි. මිල්ටන් විශාල ගීත සංඛ්‍යාවක් පටිගත කරමින් දිගින් දිගටම ගී ගැයූ ගායකයෙකි. ඔහුගේ හඬ මෙරට ජනප්‍රිය සංගීතයේ සුවිශේෂී සලකුණක් තැබීය. එබැවින් ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වය පිළිබඳ ගැඹුරු විමසුමක් අවශ්‍ය කෙරේ.

කරුණාරත්න අබේසේකරයන් වරක් පැවසූ පරිදි ඔහුගේ හඬ මෙතරම් 'මැජික් එකක්' වූයේ ඇයි? ඒ ගායන ශෛලියේ සුවිශේෂත්වය කුමක්ද? ඔහුගේ ගීත ජනප්‍රියත්වයට පත් වූයේ කෙබඳු සමාජ-ආර්ථික පසුබිමක් තුළද?

ඔහුගේ ගායනයේ රැඳි විරහව, ආදරය, තනිකම සහ මෘදුභාවය සිංහල ජනප්‍රිය සංගීතය තුළ වෙනස් සෞන්දර්යාත්මක අවකාශයක් නිර්මාණය කළේ කෙසේද? එවකට පැවති සංගීත කර්මාන්තය සමඟ ඔහුගේ මැදිහත්වීම කෙබඳුද? ඔහු ගීත තෝරාගත්තේ කවර පදනමකින්ද? ගීත රචකයන් හා සංගීතඥයන් සමඟ ඔහුගේ සහසම්බන්ධය කෙබඳු ස්වරූපයක් ගත්තේද? මෙවැනි ප්‍රශ්න විමසන විට පමණක් අපට “මිල්ටන් නම් මිනිසා” සහ “මිල්ටන් නම් කලාකරුවා” වෙන්කොට හඳුනාගත හැකිය. මෙම ගැටලුවලට සිනමාපටය ප්‍රවේශයක් ගත්ත ද, තිර පිටපත හරහා ඒවා ගැඹුරින් විමසා බැලීමට දක්වන උත්සාහය දුරස්ථය.


චිත්‍රපටයක ඔහුගේ ජීවන රටාව, මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා සහ ජනප්‍රියත්වය දෘශ්‍යමාන කිරීම පහසුය. එහෙත් කලාකරුවෙකුගේ අභ්‍යන්තර සෞන්දර්යාත්මක ගමන දෘශ්‍යමාන කිරීම අසීරු අභියෝගයකි. එය සිනමාකරුවාගෙන් ඊට වඩා වෙනස් නිර්මාණාත්මක මෙහෙයුමක් අපේක්ෂා කරයි.

එම අර්ථයෙන් ‘එදා රෑ’ වඩාත් සාර්ථක වන්නේ සංගීතමය මතකාවර්ජනයක් ලෙසය. එය ගැඹුරු කලාකරුවෙකු පිළිබඳ සිනමාත්මක චරිත අධ්‍යයනයක් බවට පත්වන්නේ කොතෙක් දුරටද යන්න විවෘත ප්‍රශ්නයකි.

රොෂාන් රවීන්ද්‍රට ලැබුණු මිල්ටන් කවුද?

මෙය රොෂාන් රවීන්ද්‍රගේ රංගන කුසලතාව අවතක්සේරු කිරීමක් නොවේ. චරිතය වෙනුවෙන් ඔහුගේ කැපවීමත්, මිල්ටන්ගේ බාහිර හැසිරීම් සහ ශරීර භාෂාව ග්‍රහණය කරගැනීමට ඔහු දැරූ උත්සාහයත් චිත්‍රපටයේ කැපී පෙනෙන ශක්තියකි. ඔහු මිල්ටන්ව තිරය මත ප්‍රතිනිර්මාණය කළ හැකි නළුවෙකු බව මනාව තහවුරු කරයි. එහෙත් දක්ෂ නළුවෙකුට පවා තනිවම චරිතයකට අභ්‍යන්තර ගැඹුරක් දිය නොහැකිය. චරිතයක ආත්මය ගොඩනැගිය යුත්තේ තිර රචනය, අධ්‍යක්ෂණය සහ සිනමා භාෂාව මඟිනි.

එබැවින් මෙහිදී රොෂාන් රවීන්ද්‍රගේ දක්ෂතාවට වඩා අප ප්‍රශ්න කළ යුත්තේ ඔහුට රඟපෑම සඳහා ලබා දී ඇති මිල්ටන්ගේ චරිත ස්වභාවය පිළිබඳවය. ඇතැම් දර්ශනවල මිල්ටන්ගේ දුම්වැටි භාවිතය සහ මත්පැන් පානය ඔහුගේ ජීවිතයේ අවසාන භාගය ගැන යම් ඉඟි සපයයි. එහෙත් එවැනි ඉඟි පවා අභ්‍යන්තර අර්බුදයක් ලෙස ගැඹුරින් නොවිමසන්නේ නම්, ඒවා අවසානයේ චරිත ලක්ෂණයක මතුපිට සලකුණු පමණක් බවට පත්වේ.

වාර්තා සිනමාව සහ චරිතාපදාන සිනමාව

මෙහිදී වාර්තාමය (Documentary) සිනමාව සහ බයොපික් (Biopic) එකක් අතර වෙනස වටහා ගැනීම වැදගත්ය. වාර්තා සිනමාව සාක්ෂි සොයයි. චරිතාපදාන සිනමාව අර්ථයක් නිර්මාණය කරයි. විශිෂ්ට බයොපික් එකක් ඒ දෙක අතර ශක්තිමත් පාලමක් තනයි. එය ජනප්‍රිය මතකය භාවිත කළ ද එම මතකයම විවේචනාත්මකව ප්‍රශ්න කරයි. වීරයෙකු ගොඩනැගුව ද ඔහුගේ දුර්වලතා වසන් නොකරයි. ආදරණීය චරිතයක් ඉදිරිපත් කරන අතරම ඔහු සාමාන්‍ය මිනිසෙකු බව අමතක නොකරයි.

‘එදා රෑ’ පිළිබඳ වඩාත් බුද්ධිමය විචාරාත්මක පැනය වන්නේ මෙයයි: අප මිල්ටන් මල්ලවාරච්චිව සිනමාවෙන් නැවත සොයාගත්තේද, නැතහොත් අප දැනටමත් දන්නා මිල්ටන්ව නැවත වරක් තිරයෙන් බලා සෑහීමකට පත් වූවාද?

චිත්‍රපටය නැරඹූ බොහෝ රසිකයන්ට මෙය අතිශය සුන්දර අත්දැකීමක් විය හැකිය. පැරණි ගීත නැවත ඇසීම, අතීත යුගයක් දෘශ්‍යමාන වීම, ජනප්‍රිය චරිත නැවත මුණගැසීම සහ මිල්ටන්ගේ හඬ සිනමා ශාලාව පුරා රැව්දීම ඊට හේතුවයි. එය චිත්‍රපටයේ වාණිජමය හා රසවින්දනමය ජයග්‍රහණයකි. එහෙත් සිනමාත්මක ජයග්‍රහණය සහ චරිතාපදානමය පර්යේෂණයක ජයග්‍රහණය යනු එකක් නොව දෙකකි.
‘එදා රෑ’ අපට මිල්ටන්ගේ ගීත නැවත අසන්නට සලස්වයි. ඔහු පිළිබඳ නොමැකෙන මතකයන් ප්‍රකම්පනය කරයි. එහෙත් එම මතකයට යටින් සිටි සැබෑ කලාකරුවා—ඔහුගේ සෞන්දර්යාත්මක තේරීම්, අභ්‍යන්තර අරගල, කලාත්මක සීමාවන් සහ යුගය සමඟ පැවති සංකීර්ණ ගනුදෙනුව—අප ඉදිරියේ සම්පූර්ණයෙන් විවර වූවාද යන්න සැක සහිතය.
සමහරවිට ‘එදා රෑ’ චිත්‍රපටයේ වඩාත් අගනා දායකත්වය වන්නේ ද සිනමා ශාලාවෙන් පිටතට පැමිණෙන අප හමුවේ එම නොවිසඳුණු ප්‍රශ්නය ඉතිරි කර තැබීම විය හැකිය.


(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

ආචාර්ය අතුලසිරි සමරකෝන්

Digital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk

View all stories by ආචාර්ය අතුලසිරි සමරකෝන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...