ප්‍රාදේශීය සභා ශාලවේදී පැවැති තරඟකාරී ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, පොදු විපක්ෂයේ සහායෙන් වැඩි ඡන්ද 2ක් ලබා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිමි කරගැනීමට සමගි ජන බලවේගයේ (SJB ) වින්සන් ප්‍රැන්සිස් සමත්විය.
මෙහිදී ජාතික ජන බලවේගයේ (NPP ) නියෝජිතයාට හිමිවූයේ ඡන්ද 8ක් පමණක්ය.
උපසභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
සභාවේ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා ද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, එහිදී පොදු විපක්ෂයේ පාර්ශවයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) තුසිත ලක්මාල් ඉදිරිපත් විය.
එහිදී වැඩි ඡන්ද 11ක් වැනි ඉහළ බහුතරයක් ලබාගනිමින් ඔහු උපසභාපති ධුරයට තේරී පත්වීමට සමත් විය.
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා මෙයට පෙර ඡන්දය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණ ද, ඇති වූ නීතිමය තත්ත්වයක් මත අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයක් හේතුවෙන් එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. වාරණ නියෝගය ඉවත් වීමෙන් පසු ඊයේ දිනයේදී මෙම නිල ඡන්ද විමසීම පවත්වනු ලැබීය.
දේශපාලන විචාරකයන් පවසන්නේ සභාපති සහ උපසභාපති ධුර සඳහා විවිධ පක්ෂ නියෝජනය කරන නියෝජිතයන් පත්වීම තුළින් ඉදිරියේදී සභාවේ කටයුතු වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගනු ඇති බවයි. කෙසේ වෙතත් සභාවේ ඉදිරි සංවර්ධන කටයුතු පක්ෂ භේදයකින් තොරව පොදු ජනතාව වෙනුවෙන් ඉටුකිරීම තම අරමුණ බව නව පාලනාධිකාරිය ප්‍රකාශ කර සිටිති.




