අගවිනිසුරු සූරසේනගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රහස් න්‍යාය පත්‍රය වැළැක්වීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වෙද්දී, චෝදනා සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් ලේකම්වරයා විශේෂ මහා සභාව කැඳවයි
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ අගවිනිසුරු සූරසේන ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආන්දෝලනාත්මක යෝජනාව මුල් කරගනිමින් මෙරට අධිකරණ පද්ධතිය තුළ දැවැන්ත අර්බුදයක් පුපුරා ගොස් තිබේ.
දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 295 දෙනෙකු නියෝජනය කරන අධිකරණ සේවා සංගමයේ (JSA) විශේෂ මහා සභා රැස්වීම අද (11) කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබියදී, එහි සභාපති කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ලේකම්වරයාට සහ විධායක කමිටුවට දැඩි චෝදනා එල්ල කරමින් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ පුවත් සම්පාදක සරෝජ් පතිරණ සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෙළිදරව් කරන්නේ, අගවිනිසුරුවරයා ආරක්ෂා කිරීමට සහ මෙම විශේෂ රැස්වීම කෙසේ හෝ වැළැක්වීමට නිලධාරී පාර්ශවයන් දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසු සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සහ බරපතළ චෝදනා:
අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මුළු සාමාජිකත්වයටම යොමුකළ ලිපිය මඟින්, සංගමයේ ලේකම්වරයා සහ විධායක කමිටුව වෘත්තීය සදාචාරය සහමුලින්ම කෙලෙසා ඇති බවට චෝදනා කරයි.
සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීම:
සාමාන්‍යයෙන් විශේෂ මහා සභාවක් කැඳවීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවේ (JSC) එකඟතාව ලබාගත යුතු වුවත්, කොමිසමෙන් ඊට බාධා එල්ල වේ යැයි බියෙන් ලේකම්වරයා ඇතුළු පිරිස එම සම්ප්‍රදාය අතහැර ඇත.
ගණපූරණය සහ ව්‍යාජ ලේඛන:
සංගමයේ නීති පද්ධතිය අනුව විශේෂ රැස්වීමක් පැවැත්වීමට සාමාජිකයන්ගෙන් 1/3ක (අවම 86 දෙනෙකුගේ) සහභාගිත්වය තහවුරු විය යුතු වුවත්, ඉදිරිපත් වී සිටියේ 46 දෙනෙකු පමණි. එසේ තිබියදී, ඇතැම් දේශපාලන උවමනාවන් සහ විශ්‍රාම වයස ඉහළ දැමීමට එරෙහි පාර්ශවයන් සතුටු කිරීම සඳහා, ලේකම්වරයා විසින් විධායක කමිටු රැස්වීම් සටහන් (Exco Minutes) සිතාමතාම ව්‍යාජ ලෙස වෙනස් කරමින් මෙම රැස්වීම බලහත්කාරයෙන් පැවැත්වීමට කටයුතු කර ඇති බව සභාපතිවරයා පවසයි.
අනුමැතියක් නැති රැස්වීමක්:
කඩුවෙල විවෘත අධිකරණ ශාලාව සෙනසුරාදා දිනයක භාවිත කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ කිසිදු පූර්ව අවසරයක් ගෙන නොමැති බැවින්, මෙම නීති විරෝධී රැස්වීමේ මුලසුන දැරීමට තමන්ට නොහැකි බව පවසමින් සභාපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
චෝදනා ප්‍රතික්ෂේප කරමින් ලේකම්වරයා දුන් පිළිතුර
සභාපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ලිපිය ප්‍රසිද්ධ වී පැය කිහිපයක් ඇතුළත, අධිකරණ සේවා සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ සාමාජිකත්වය වෙත හදිසි නිවේදනයක් නිකුත් කරමින් ඊට සෘජු පිළිතුරු ලබා දුන්නේය.
සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම:
සභාපතිවරයා විසින් විධායක කමිටුව වෙත සහ තමන් වෙත එල්ල කරන ලද සියලුම චෝදනා විධායක කමිටුවේ බලය මත සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව ලේකම්වරයා සඳහන් කරයි.
රැස්වීම අඛණ්ඩව:
සභාපතිවරයා ඉල්ලා අස්වුවද, සැලසුම් කළ පරිදි අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත්, ඒ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා නිල වශයෙන් දැනුවත් කළ ලේඛන දෙකක් ද තමන් සතුව ඇති බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
මෙම අභ්‍යන්තර ගැටුම හමුවේ දිවයිනේ නන්දෙසින් පැමිණෙන විනිසුරුවරුන් මේ සටහන පලකරන විටත් කඩුවෙල අධිකරණ භූමිය වෙත ළඟා වෙමින් සිටින අතර, අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිසුරුවරුන්ගේ මාරුවීම් පිළිබඳව ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ පුවත් සම්පාදක සරෝජ් පතිරණ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් හා වීඩියෝවක් මතු පළවේ.
විශේෂ සටහන: පසන් අමරසේන විනිසුරුවරයා මෙසේ ඉල්ලා අස්වන්නේ අද පැවැත්වෙන අධිකරණ සේවා සංගමයේ විශේෂ මහ සභා රැස්වීම කෙසේ හෝ වැලැක්වීමට අගවිනිසුරු සූරසේනට සහය දෙන කණ්ඩායම දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ පසුවය.
සංගමයෙන් නොවිමසා අගවිනිසුරු ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැමැත්ත පළකිරීම හේතුවෙන් විනිසුරු අමරසේන ද දැඩි විවේචනයට ලක්වූ අතර, එම විශේෂ මහ සභා රැස්වීම පැවැත්වීම ගැන විනිසුරු පසන් අමරසේන ගේ මනාපයක් නොවූ බවත් ප්‍රසිද්ධ කරුණකි. එබැවින් මේ ලිපිය සලකා බැලිය යුත්තේ එම පසුබිම යටතේය.
එමෙන්ම මේ ලිපියේ එල්ල කරන මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් සංගමයේ ලේකම්, විනිසුරු සුරංග මුණසිංහ සාමාජිකයින් වෙත යොමු කළ ලිපිය, ඔබේ දැනගැනීම පිණිස සභාපතිවරයාගේ ලිපිය අගට අමුණමි.
අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයාගේ ලිපිය :
අධිකරණ සේවා සංගමයේ ගරු සාමාජිකයින් සියළු දෙනා වෙත,
මෙම තීරණාත්මක මොහොතේ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ලෙසට වර්තමාන තත්වය පිළිබදව සමස්ථ සාමාජිකත්වය දැනුවත් කිරීම අත්නොහල යුතු වගකීමක් වන බැවින් මෙය පළ කරමි.
අධිකරණ සේවා සංගමය ආරම්භ කරන ලද්දේ සාමාජික විනිසුරුවරුන්ගේ සුභසාධනය සදහා ක්‍රියාත්මක වන සංගමයක් ලෙසටයි. අධිකරණ සේවා සංගමය කිසිදු අවස්ථාවකදී වෘත්තීය සමිතියක් ලෙසට ක්‍රියාත්මක වී නොමැති අතර එසේ ක්‍රියාත්මක වීමේ හැකියාවක්ද නොමැත. අධිකරණ සේවා සංගමය ලියාපදිංචි කරන ලද සංගමයක් නොවන අතරම, ලිඛිත ව්‍යවස්ථාවක්ද නොමැති, සම්ප්‍රදායන් සහ පූර්ව නිදර්ශන පෙරදැරි කරගෙන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ගෞරවාන්විත කාර්‍යභාරයක් සමස්ථ අධිකරණ පද්ධතියට සහ රටටම සිදුකරනු ලබන, ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ පමණක් සාමාජිකත්වයෙන් පිහිටුවන ලද සංගමයකි.
අධිකරණ සේවා සංගමයේ සෑම සාමාජිකයකුම අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ සේවයේ නියුතු විනිසුරුවරුන් වේ. වෘත්තීය සාරධර්ම සහ ස්වාධීනත්වය රැකගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවේ ආශිර්වාදය ඇතිව ශ්‍රී ලංකාවේ සමස්ථ අධිකරණ සේවයටම ආභරණයක් ලෙසට අධිකරණ සේවා සංගමය ආදර්ශමත් ගමනක් මෙතෙක් පැමිණ තිබේ.
ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ ආකාරයෙන්, විනිසුරුවරුන්ට නොගැලපෙන අයුරින් අධිකරණ සේවා සංගමය සහ එහි සාමාජිකත්වය අපකීර්තියට පත් කරමින්, සමස්ථ සාමාජිකත්වයම ඉතාම පහත්, භයානක තත්වයකට ඇද දමමින්, සාමාජිකයින් සහ සාමාජිකාවන් අතලොස්සක් සහ අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා ප්‍රමුඛ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් පිරිසක් කටයුතු කරනු ලබන බව කණගාටුවෙන් සහ පිලිකුල්සහගතව සමස්ථ සාමාජිකත්වයට දැනුම් දීමට සිදුව තිබේ.
*2026.07.11 දිනට පැවැත්වීමට විධායක කමිටුව විසින් සාමාජිකත්වයට යෝජනාකර තිබූ විශේෂ මහා සභා රැස්වීම**
2026.06.27 දින රැස්වූ විධායක කමිටුව විසින්, මේ වන විට සාකච්ඡාවට භාජනය වී ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අප සංගමයේ
සාමාජිකයින්ගේ අදහස් විමසීම සදහා විශේෂ මහා සභාවක් පැවැත්වීමට සාමාජිකත්වයට යෝජනා කිරීමට තීරණය කරන ලදී.
මේ වන තෙක් අධිකරණ සේවා සංගමය විසින් පවත්වන ලද සියළුම විශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අදාල මාතෘකාව සම්බන්ධයෙන් වූ අප සංගමයේ විධායක සභාවේ සැලකිල්ලට බදුන් වූ හේතු (reasons for the concern) අධිකරණ සේවා කොමිෂන් සභාව සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවකදී හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම්වරයා හරහා කොමිෂන් සභාවට දැනුම් දීමෙන් පසුව, අධිකරණ සේවා කොමිෂන් සභාවේද එකගතාවය (concurrence) මත පැවැත්වීම පිළිගත් සම්ප්‍රදාය බව ඔබ අප සියළු දෙනා දන්නා කරුණකි.
කෙසේවුවද මේ අවස්ථාවේදී ද ඒ ආකාරයට අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පවත්වා මෙම මාතෘකාව සම්බන්ධයෙන් වූ අප සංගමයේ සැලකිලිමත්වීම (concern) දැනුම්දීමට මා විසින් විධායක කමිටුවට කරන ලද යෝජනාව විධායක කමිටුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉවත දමන ලදී. ඔවුන් හේතුව ලෙසට දකවා සිටියේ, අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ගියහොත් තමන්ට මෙම මහා සභා රැස්වීම නොපවත්වන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අණ කරනු ලැබිය හැකි බවයි.
අධිකරණ සේවා සංගමය විසින් මෙතෙක් පවත්වන ලද විශේෂ මහා සභා රැස්වීම් පවත්වන ලද ක්‍රමවේදය, එදින විධායක කමිටු රැස්වීමට සහභාගී වූ සාමාජිකයින් අතුරින්, 2010 වර්ෂයෙන් පසුව පැවැති සෑම විශේෂ මහා සභා රැස්වීමකටම සහභාගී වී සිටි සාමාජිකයකු වන මා විසින් විධායක කමිටුව වෙත 2026.06.27 දින පැවැති කමිටු සාකච්ඡාවේදී මනාව පැහැදිලි කරන ලදී.
එසේ විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීම සිදු කරනු ලබන්නේ;
• සමස්ථ සාමාජිකත්වයෙන් 1/3ක් විසින් කරනු ලබන ඉල්ලීමක් මත; හෝ,
• එසේ සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 කගේ ඉල්ලීමක් නොමැති අවස්ථාවකදී විධායක කමිටුව විසින් විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනාවක් සාමාජිකත්වයට දැනුම් දී, සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක වත් සාමාජිකයින් සංඛ්‍යාවක් එම විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වන බවට තහවුරු කළහොත්;
පමණක් බව මේ වන විට අධිකරණ සේවා සංගමය විසින් සිදු කරනු ලබන ක්‍රමවේදය බව මා විසින් පැහැදිලි කිරීමෙන් පසුව, සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක සංඛ්‍යාවකගේ ඉල්ලීමක් නොමැති බැවින්, ඉහත කී දෙවන ක්‍රමවේදය අනුව සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක් සහභාගීත්වය තහවුරු කළහොත් 2026.07.11 දින විශේෂ මහා රැස්වීමක් පැවැත්වීමට විධායක කමිටුව විසින් ඒකමතිකව තීරණය කරන ලදී.
එකී තීරණය අනුව ලේකම්වරයා විසින් JSA Members Official Whatsapp Group හි 2026.07.02 දිනැති සහභාගීත්වය තහවුරු කිරීමේ (confirmation of participation) පණිවුඩය පළ කරන ලදී. ඒ අනුව මෙම විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට නම් අප සංගමයේ සාමාජිකයින් 86 දෙනකු විසින් තම සහභාගීත්වය තහවුරු කළ යුතු වේ. නමුත් සහභාගීත්වය තහවුරු කිරීමේ කාලය අද උදෑසන අවසාන වූ පසුවත් මේ වන විට සාමාජිකයින් 46 ක් පමණක් තම සහභාගීවීම තහවුරු කර තිබේ. ඒ අනුව පිළිගත් සම්ප්‍රදාය අනුව මෙම යෝජිත විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමේ හැකියාවක් නැත.
විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට ප්‍රමාණවත් සාමාජිකයින් සංඛ්‍යාවක් සහභාගීත්වය තහවුරු නොකරන බවත්, ඒ අනුව විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට නොහැකි බවට හැගීයාම හේතුවෙන්, කෙසේ හෝ විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අධිකරණ සේවා සංගමය එරෙහි බවට යෝජනාවක් සම්මත කර, එය මාධ්‍ය මගින් ප්‍රචාරය කර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි වී ඇති පාර්ශවයන්ට සහ සමහර දේශපාලන උවමනාවන්ට සහාය දැක්වීමේ කණගාටුදායක සහ නිර්ලජ්ජිත උත්සාහයක අප සංගමයේ ලේකම්වරයා, විධායක කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ සාමාජිකයින් කිහිප දෙනෙකු නිරත වන බව මේ වන විට පැහැදිලිව පෙනී යයි.
සහභාගීත්වය තහවුරු කිරීමේ කාලය ඉක්මයාමටද මත්තෙන් ඊයේ දින වනවිටම ලේකම්වරයා විසින් විශේෂ මහා සභා රැස්වීම අනිවාර්යයෙන්ම පවත්වනු ලබන බවට නිවේදනය කිරීමෙන්ම මෙම උත්සාහය පිළිබදව මනාව පැහැදිලි වේ. තවද, ඉතාම පැහැදිලිව ගන්නා ලද විධායක කමිටු තීරණ වෙනස් කරමින් විටින් විට වෙනස් තීරණ විධායක සභාවට දැනුම් දීම මගින් ලේකම්වරයා විසින් රැස්වීම් සටහන් සිතාමතාම වෙනස් කර තමන්ට අවශ්‍ය තීරණය විධායක සභාව විසින් ගත් තීරණය බවට ව්‍යාජව දන්වමින් කටයුතු කරන බවද පෙනී යයි.
මෙම මහා සභා රැස්වීම සෙනසුරාදා දිනයකදී විවෘත අධිකරණ ශාලාවකදී පැවැත්වීමට නියමිත නමුත්, කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මෙතෙක් ඒ සදහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයද ලබාගෙන නොමැත.
මේ ආකාරයෙන් විනිසුරුවරුන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව, සම්ප්‍රදායෙන් බැහැරව, සමස්ථ සාමාජික සංඛ්‍යාවෙන් 1/3 කගේ වත් සහභාගීත්වය තහවුරුවකින් තොරව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීම නීත්‍යානුකූල නොවන අතර, නීත්‍යානුකූල නොවන රැස්වීමකට සහභාගී වී සභාපතිවරයා ලෙසට මුලසුන දැරීම, මෙම රැස්වීමට සහභාගීවන බවට තහවුරු කර නැති අති බහුතර සාමාජිකත්වයට (සාමාජිකයින් 212) සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට ද අගෞරවයක් බවට සලකමි.
විධායක කමිටුව විසින් 2026.07.11 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට සාමාජිකත්වයට යෝජනා කරන ලද විශේෂ මහා සභා රැස්වීම ඉහත කරුණු මත මුලසුන ගෙන පැවැත්වීමට සභාපතිවරයා ලෙසට මා හට නොහැකි බවට දැනුම් දෙමි.
කෙසේවුවද, ඉහත දක්වන ලද කරුණු වලට පටහැනිව විශේෂ මහා සභා රැස්වීමක් 2026.07.11 දින පැවැත්වීමට කවරකු හෝ සංවිධානය කළහොත්, එම රැස්වීම සම්බන්ධයෙන් සභාපතිවරයා ලෙසට මා කිසිදු වගකීමක් භාර නොගන්නා බවද, නීත්‍යානුකූල නොවන විශේෂ මහා සභා රැස්වීමකට සභාපතිවරයා ලෙස මුලසුන ගැනීමට මා හට හැකියාවක් නොමැති බවද සමස්ථ සාමාජිකත්වයට ගෞරවයෙන් දැනුම් දෙමි.
තවද, පසුගිය දින කිහිපයෙහි අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා සහ විධායක කමිටුවේ සමහර සාමාජිකයින් හැසිරුණු ආකාරය ඉතාම කණගාටුදායක අතර, කිසිදු වෘත්තීයභාවයක් නොපෙන්වමින්, අසත්‍ය ප්‍රකාශ කරමින්, කිසිදු පැකිලීමකින් තොරව කිසිදා අධිකරණ සේවා සංගමයේ සිදු නොවූ ආකාරයෙන් විධායක කමිටු තීරණ සහ සටහන් (Exco Minutes) විටින් විට වෙනස් කරමින් සදාචාරාත්මක නොවන අයුරින් හැසිරුණු ආකාරය ඉතාම ශෝචනීයය. සමහර විධායක කමිටු රැස්වීම් සදහා සහභාගී නොවූ විධායක කමිටු සාමාජිකයින් පවා තමන් සහභාගී නොවූ රැස්වීම් වලදී ගත් තීරණ සම්බන්ධයෙන් අසත්‍ය කරුණු දැක්වීම් සිදු කිරීම් කරන ලද්දේ තමන්ගේ වෘත්තීය ගෞරවය පවා කෙලෙසා ගනිමිනි.
කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි විධායක කමිටුවකට තවදුරටත් නායකත්වය සැපයීමට මා හට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. අධිකරණ සේවා සංගමයේ වර්තමාන ලේකම්වරයා සහ විධායක කමිටුවේ බහුතර සාමාජිකයින් පිළිබදව කිසිදු විශ්වාසයක් මා හට නොමැති බැවින් අධිකරණ සේවා සංගමයේ සභාපතිධූරයෙන් වහාම ඉල්ලා අස්වීමට මා තීරණය කළ බවද දැනුම් දීමට කැමැත්තෙමි.
කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී තම මතය නිර්භයව අවංකව ප්‍රකාශ කළ ප්‍රතිපත්තිගරුක විධායක කමිටු සහ අනෙකුත් සාමාජිකයින් කිහිපදෙනාට ගෞරවපූර්වක ස්තුතිය පිරිනමමි.
පසුගිය වාර්ෂික මහා සභා රැස්වීමේදී මා සභාපතිධූරයට ඒකමතිකව පත් කරන ලද සමස්ථ සාමාජිකත්වයට ද මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.
ස්තුතියි.
| පසාන් අමරසේන
සභාපති,
අධිකරණ සේවා සංගමය.
අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ සාමාජිකයින් වෙත යැවූ පිළිතුරු ලිපිය මතු පළවේ
Dear colleagues,
It is respectfully inform you that the Execetive Committee of the JSA has given me the authority to send this message to all of you.
EXCO has vehimently denied all the contents of the message of the President JSA on this group which is posted only 13 hours before the SGM scheduled tomorrow.
Hence I kindly and respectfully inform all the members that the SPECIAL GENERAL MEETING will be held on 11.07.2026 - 10 AM at the MAGISTRATE COURT, Kaduwela.
Further I attach two letters sent by the JSA informing the Secretary JSC about the SGM upon the decision taken by the EXCO.
Thanking you.
Secretary JSA




