රාජ්ය දෙපාර්තමේන්තු දෙකක් යටතේ පවතින උතුරු, නැගෙනහිර දෙපළාතේ පෞද්ගලික ඉඩම් ද ඇතුළුව අක්කර ලක්ෂ දෙකකට ආසන්න ඉඩම් ප්රමාණයක් නිදහස් කිරීම සඳහා අමාත්ය මණ්ඩලයට කඩිනමින් යෝජනා ඉදිරිපත් කරන බව පරිසර අමාත්යවරයා දැනුම් දී තිබේ.
පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි ඒ බව ප්රකාශ කර ඇත්තේ උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින සීමා කිරීම් හේතුවෙන් මතුව ඇති ගැටලු, සංවර්ධන කටයුතුවලදී පවතින බාධා සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩිගේ ද සහභාගිත්වයෙන් ඔක්තෝබර් 16 වැනි සිකුරාදා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
ජනතාවගේ වාසස්ථාන රක්ෂිත කළ 2012 ගැසට්ටුව
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කර ඇත්තේ එම සාකච්ඡාවේදී ආරම්භක අදහස් දැක්වු උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්, 2012 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පවරාගත් ඉඩම් අතර ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපාය සඳහා භාවිත කරන ඉඩම් ද ඇතුළත් වන බව පෙන්වා දුන් අතර ජනතාව මෙය තමන්ට සිදුකරන ලද අසාධාරණයක් ලෙස සලකන බවද දැනුම්දුන් බවයි.
1984 වසරේදී පමණ තමන්ගේම ප්රදේශවලින් අවතැන් වූ ජනතාවට අද වනතුරුත් තම ඉඩම්වලට නැවත පැමිණීමට නොහැකි තත්වයක් පවතින බවත්, මෙම ඉඩම් ගැටලු හේතුවෙන් සංවර්ධන හා ප්රතිසංස්කරණ කටයුතුවලට පවා විශාල බාධා පවතින බවත් ආණ්ඩුකාරවරයා එහිදී පෙන්වා දී තිබේ.
එබැවින්, අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව වෙත දිස්ත්රික් ලේකම් කාර්යාල මගින් නිර්දේශ කර ඇති ඉඩම් හෝ කඩිනමින් නිදහස් කිරීමට පියවර ගත යුතු බව ඔහු ඉල්ලා සිටි බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් නිවේදනය කර ඇත.
GPS ඛණ්ඩාංක පැටලැවිල්ල සහ රෝහල් අහිමිවීම
එම සාකච්ඡාවේදී පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි සඳහන් කර ඇත්තේ 2012 වසරේදී භූගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) භාවිත කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල විශාල ඉඩම් ප්රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතට ගෙන ඇති බවයි. එම ඉඩම් අතර රෝහල්, රාජ්ය දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සහ පෞද්ගලික ඉඩම් ද ඇතුළත් වන බව ඔහු සඳහන් කර තිබේ.
කිලිනොච්චි දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලද මාධ්ය සාකච්ඡාවකදී ද පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි ඒ බව යළිත් වරක් තහවුරු කර තිබුණි.
"2010 වගේ වසරවල ඉඳලා වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුවලට ඒ රක්ෂිත ගැසට් කරලා තියෙන්නේ GPS ඛණ්ඩාංක මත. මේ GPS ඛණ්ඩාංක මත ඒ රක්ෂිත හඳුනාගැනීම නිසා සමහර රජයේ කාර්යාල හෝ රෝහල්, පෞද්ගලික ඉඩම් ආදී දේවල් ඒ රක්ෂිත හැටියට හඳුනාගෙන තියෙනවා. ඉතින් පළමු වටයේදී මේ ප්රදේශ හඳුනාගෙන ඒවා නිදහස් කිරීම සඳහා වෙච්චි කැබිනට් අනුමැතිය ලැබූ කමිටුවක් තමයි පත් කළේ. ඒ කමිටුවේ කටයුතු දැන් අවසන් අදියරට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ ඉඩම් කොයි ප්රමාණයක් නිදහස් කර ගත හැකිද, දැනට දළ වශයෙන් අදහසක් ලබා ගන්න සහ ඊට පස්සේ ප්රදේශයේ තියෙන අනෙකුත් විශේෂිත ගැටලු සම්බන්ධයෙන් අපි අද දිනයේදී සාකච්ඡා කළා."
නිලධාරී ප්රමාදය සහ අක්කර දෙලක්ෂයේ බලාපොරොත්තුව
මෙම ඉඩම් හඳුනාගෙන නිදහස් කිරීම සඳහා 2025 වසරේදී අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව කමිටුවක් පත් කළ බවත්, එම කමිටුවට මාස හයක කාලයක් ලබා දී තිබුණ ද, වසරක් ගතවී තිබියදීත් අවසන් වාර්තාව අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව අමාත්යවරයා සඳහන් කළේයැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය. ඇතැම් නිලධාරීන්ගෙන් ප්රමාණවත් සහයෝගයක් නොලැබීම හේතුවෙන් ක්රියාවලිය සම්පූර්ණ කිරීම ප්රමාද වී ඇති බවද පරිසර අමාත්යවරයා එහිදී පෙන්වා දී ඇත.
අධ්යයන කටයුතු අවසන් කර නිදහස් කිරීමට නිර්දේශ කර ඇති ඉඩම් පවා මෙතෙක් නිදහස් කිරීමට නොහැකි තත්වයක් පවතින බව පෙන්වා දුන් අමාත්යවරයා, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් අක්කර ලක්ෂ 2කට ආසන්න ඉඩම් ප්රමාණයක් නිදහස් කිරීම සඳහා වන නිර්දේශ කඩිනමින් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර, එහි අනුමැතිය ඇතිව එම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සිදු කරන බව සඳහන් කළේයැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මාධ්ය ඒකකය වැඩි දුරටත් සඳහන් කරයි.
උතුරු පළාතේ පශු සම්පත් සඳහා අවශ්ය තෘණ භූමි ද නිදහස් කළ යුතු ඉඩම් අතරට හඳුනාගත යුතු බව අමාත්යවරයා එහිදී සඳහන් කර ඇත.
රජයේ හමුදාවන්ට අමතරව පුරාවිද්යා දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්ය ආයතන කිහිපයක්ම උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවට දිගින් දිගටම චෝදනාවන්ට ලක්ව සිටී.




