කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (08) පෙරවරුවේ පැවැති මහ බැංකුවේ 2026 සහ ඉදිරිය සදහා වන ප්‍රතිපත්ති පෙර දැක්ම ප්‍රකාශයට පත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආර්ථිකය දෙස් විදෙස් අභියෝග රාශියක් මැද පසුගිය දෙවසර තුළ ස්ථාවරත්වයකට ගෙන ඒමට සමත්ව ඇති බැවින් පසුගියදා හමා ගිය දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් අංශයන් පවා ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් වීමට හැකි බවට දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇතැයිද අධිපතිවරයා කීය.
රටේ මූල්‍ය ස්ථාවරත්වය, බාහිර සහ මුදල් යන ආර්ථිකයේ ප්‍රධාන අංශ හරහා සැලකිය යුතු ප්‍රගතියක් අත් පත් කරගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී පවා යළි නැවත ගොඩ නැගීමේදී දැඩි විශ්වාසයකින් සහ සැලකිය යුතු වේගයකින් නැවත ගොඩ නැගීමට හැකියාව ලැබී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති අංශ වල පසුගිය කාළයේදී සිදු කළ ප්‍රශංසනීය ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ගොඩ නැගී ඇති ශක්තිමත් භාවය උපයෝගී කරගෙන නැවත නැගී සිටීමට සියලු දෙනා එක්ව ක්‍රියාකළ යුතු බව අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ප්‍රතිසංස්කරණ ප්‍රගතියක් ලබා ඇති නිසා අතීතයට වඩා බොහෝ වේගයෙන් මෙම සුළි කුණාටුවේ විනාශයෙන් ගොඩ ඒමට ආර්ථිකයට වැඩි ධාරිතාවක් ඇති බවට විශ්වාස කරන බව ද අධිපතිවරයා කීවේය.
2025 වසරේ දී, ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන අතරම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමෙහිලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගත් බව ද ඔහු කියා සිටියේය.
මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නියෝජ්‍ය මහ භාණ්ඩාගාර ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, මහ බැංකුවේ උසස් නිලධාරීහු, විවිධ විදේශීය ආයතනවල නියෝජිතයෝ, දේශීය හා විදේශීය බැංකු ප්‍රධානීහු ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(සටහන | ජේ.මුණසිංහ)





