මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) බරපතළ චෝදනාවක් එල්ල කළහ. 


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බව උන්වහන්සේ පැවසූහ.

2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි අත්බෝම්බයක් සොයා ගැනිණි.

ඒ සම්බන්ධයෙන් දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු සිව්දෙනෙක් අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මුදාහැරිණි.

එවැනි වටපිටාවක කතෝලික සභාව චෝදනා කරන්නේ, මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවටයි.

එම සිදුවීමට වසර 2ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ දී අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ දිව්‍ය යාගයක් සංවිධානය කර තිබිණි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී මෙසේද පැවසුහ.

 

"වාසනාවකට එදා අත්බෝම්බය පිපිරුවේ නැහැ. CCTV බලන්නේවත් නැතුව පල්ලියේ සේවකයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට ගත්තා. විමර්ශන සම්බන්ධයෙන් නොයෙකුත් බොරු කිව්වා. CCTVවල අත්බෝම්බය තියපු කෙනා පැහැදිලිව පෙනුණා. පොලිසිය ඒ මනුස්සයා ගැන සෙව්වේවත් නැහැ. අවුරුදු 02කට පසුවත් අපි යුක්තිය ඉල්ලනවා මේ පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන්න."

 

"ඒ අත්බෝම්බය ගෙනල්ලා දේවස්ථානයේ තියපු පුද්ගලයා කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඔහු ඉන්නවා. කිසිදු සොයා බැලීමක් වෙලා නැහැ. මොකද ඔහු ඔවුන්ගේ ආධාරකරුවෙක්. ඔවුනුයි ඔහුව එව්වේ. ප්‍රබලයෝ තමයි මේ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ."

"රැලිය පවත්වන්න එපා කියලා අවවාද කරන්නයි‍ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ මිනිස්සුන්ව බය කරන්න හැදුවේ."

"මේ වර්ෂය මැතිවරණ වසරක්. යම් හෙයකින් මැතිවරණය පැවැත්වුණ හොත් අපිට අවස්ථාවක් තියෙනවා තීරණය කරන්න මේ දූෂිත දේශපාලනඥයින් රට තවදුරටත් පාලනය කරනවා ද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙක්ට රට ඉදිරියට රැගෙන යාමේ වගකීම භාර දෙනවා ද කියන කාරණාව."

දිව්‍ය පූජා යාගය අවසානයේ දේවස්ථානය ඉදිරිපිට අගරදගුරු හිමිපාණන් සහ ප්‍රදේශවාසින් නිහඬ විරෝධතාවක් ද පවත්වා තිබේ.



(adaderana.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්