අවලෝකේතීෂ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වැනිදා දක්වා

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජනවාරි 16 වැනිදා) නියෝග කළේය.

සැකකරු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් (ජනවාරි 15 වැනිදා) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

මහින්ද කොඩිතුවක්කු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට


‘බෝධිසත්වයකු බව අඟවමින් රංගනයක’

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී.... මේ සැකකරු 1979 වසරේ ජූනි මස 23 වැනිදා උපත ලබා තිබෙනවා. ඉන් පසුව ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වුණා. 2012 වසරේ ඔහු ඊජිප්තුවට පිටත්ව ගියා. එහි තිබෙන ඇමෙරිකානු කඳවුරක නිලධාරියෙකුගේ නිවසේ සුනඛයින් බලා ගැනීමේ රාජකාරියේ ඔහු නිරත වී තිබෙනවා. පසුව ඉකුත් ජනවාරි 01 වැනිදා මෙරටට පැමිණියා. ගුවන් තොටුපලේ සිට කැලණිය විහාරයට ගොස් තමන් බෝධිසත්වයකු බව අඟවමින් රංගනයක නිරත වුණා. තමන් ශ්‍රී ලංකාව බේරා ගැනීම සඳහා මෙරටට පැමිණි බවත් ප්‍රකාශ කර තිබෙනවා" යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල්වරයා "මේ සැකකරු විසින් යූටියුබ් නාලිකා පහක් පමණ පවත්වාගෙන යනවා. ඒ හරහා ඔහු බුද්ධ ධර්මය විකෘති කරමින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු පවසන්නේ 2016 වසරේ දී තමන්ට මෙම විඤ්ඤාණය පහළ වූ බව. ඔහු විසින් තම දේශනා තුළින් බුද්ධ ධර්මය විකෘති කරමින් කරුණු දක්වා තිබෙනවා. තමන්ට අනුගාමිකයින් ලක්ෂ තුනක් පමණ සිටින බවත් ඔහු සඳහන් කර තිබෙනවා." යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 291, පරිගණක අපරාධ පනතේ 06 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල්වරයා"මේ පුද්ගලයාට අනුගාමිකයින් ලක්ෂ තුනක් පමණ සිටින බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙරටදී ඔහුගේ කටයුතු සංවිධානය කරන්නේ පූණ්‍යසිරි නමැති පොලිස් නිලධාරියෙකු සහ තවත් වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු පිරිසක්. සැකකරු මෙරටදී රැඳී සිට තිබෙන්නේත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ බිරිඳට අයත් නිවසක. මෙම සැකකරු දිවයිනට පැමිණි දින සිට මේ දක්වා සිදුකළ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය කර තිබෙන බව ඔහුගේ අනුගාමිකාවක වන සුදර්ශනී නිලන්තිකා කරුණාරත්න නමැතිය ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කළා. එසේම කටුනායක ගුවන් තොටුපළේ සිට කැලණිය විහාරයට පැමිණීම සඳහා ඔහු විසින් භාවිතා කළ "ලිමොසින්" වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය කැලණිය ප්‍රදේශයේ සිටින පියතිස්ස නමැති පුද්ගලයෙකුගෙන් රුපියල් 25000 ක කුලී පදනම මත ලබාගෙන තිබෙන බවත් හෙළිවී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයිනුත් ඔහුට සහාය වන බවට හෙළිවී තිබෙනවා." යනුවෙන් කියා සිටියේය.

සැකකරු ඇපමත මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පිරිස් "ස්වාමීනි.. මේ වන විට බුද්ධාගමට විවිධ තර්ජන එල්ල වී තිබෙන බව පෙනී යනවා. මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නායක හිමිවරු ඇතුළු මහ නායක හිමිවරු පස් නමක් බුදු දහමට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බව ජනමාධ්‍ය වාර්තා කළා. තමා විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරන බවත් සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. තුන්වන විනිසුරුවරයකු පැමිණ තිබෙන බවත් ඔහු සඳහන් කළා. සැකකරු විසින් සිදුකළ ඇතැම් ප්‍රකාශ නිසා මහජන නොසන්සුන්තාවක් ද ඇති වී තිබෙනවා. නමුත් මේ පුද්ගලයා දෙස අනුකම්පාවෙන් බැලිය යුතුයි. ඔහුට දඬුවම් කිරීමෙන් ඵලක් නැහැ. බෙහෙත් ලබාදිය යුතුයි." යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 374 සහ 376 වන වගන්ති යටතේ මෙම සැකකරු අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබීය.

dfghe5t6පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් (ජනවාරි 15 වැනිදා) මෙම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය


‘වෛරී ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල කරන්න බැහැ’

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් "තම සේවා දායකයා සිය ප්‍රකාශ තුළින් බුදුරජාණන් වහන්සේට හෝ කිසිදු ආගමික නායකයකුට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර නෑ. එසේ කර තිබුණා නම් ඔහුට එරෙහිව අයි.සී.සී.පී.ආර් පනත යටතේ චෝදනා ඉදිරිපත් කරනවා. ඒ නිසා තමයි ඔහුට එරෙහිව අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා ඉදිරිපත් නොකිරීමට පොලිසිය කටයුතු නොකළේ. ඒ නිසා සැකකරු වෛරී ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල කරන්න බැහැ. එසේම මෙම සැකකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට කරුණු මේ වනතෙක් අධිකරණයට ඉදිරිපත් වී නැහැ. යූ ටියුබ් නාලිකාවකට වීඩියෝ පටයක් උඩුගත කිරීම පරිගණක අපරාධ පනත යටතේ වරදක් හැටියට සලකන්න බැහැ. මොහුගේ ප්‍රකාශ නිසා මහජන ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. එසේම වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවක් ඇති වී නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඔහුගේ මානසික තත්ත්වය පරික්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ,"මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසනවා. එසේම බුදු දහමට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහනායක හිමිවරුත් මේ අවස්ථාවේදී ප්‍රකාශ නිකුත් කර තිබෙන බව සඳහන් කළ යුතුයි. එසේම මෙම සැකකරුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍ය තුළද විශාල කතාබහක් මතුවී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් කළ මෙම සැකකරුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන කැළඹීමක් මතුවී තිබෙන බව අධිකරණයට නිරීක්‍ෂණය වෙනවා. එසේම සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ද අධිකරණය නිරීක්‍ෂණය කළා. දෙපාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර ලෙස සැකකරු විත්ති කූඩුවේ සිටිමින් සිය අංග චලනයන් (අංග තුලාව) ඔස්සේ සිය හැඟීම් ප්‍රදර්ශනය කිරීමේදී ඔහු කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් පසුවන බව අධිකරණයට නිරීක්‍ෂණය වේ." මෙම තත්ත්වය යටතේ සැකකරු ඇප මත මුදා හැරියහොත් මහජන කැළඹීමක් මතු විය හැකි යැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය ) 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්