පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල්

වික්‍රමසිංහ වෙත අද (පෙබරවාරි මස 06 වෙනිදා) යොමු කර ඇත.

අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකානායකගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරනු ලැබීය.

2024.02.03 දින සිට අදාළ ඉල්ලා අස් වීම බලපැවැත්වෙන බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්ය.


ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර සිදු වුයේ කුමක්ද?


සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගනු ලැබූ ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙබරවාරි 03 වෙනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.


කෙහෙළියට එරෙහි විශ්වාස භංගය සහ විරෝධය


මේ අතර කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කර සිටියේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ලට ජනතා බදු මුදලින් නඩත්තු වීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

මේ අතර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වීමත් සමග ඔහුට එරෙහිව සමාජයේ ප්‍රබල විරෝධතාවක් ඇතිවිය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිස් කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බලකර සිටියහ.

කෙහෙලිය රඹුක්වැල්ල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති යටතේ තබා ගැනීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්