තමාට ජනවරමක් ලැබී ඇති බැවින්, ‍එය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් තමාට බාධා නොකළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ පැවැති ශ්‍රී ලංකා නීතිඥ

සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික නීති සම්මේලනයේදී ප්‍රකාශ කළේය. මේ ඒ ගැන ඔහු කියූ දෙවැනි අවස්ථාවයි. පළමුවැනි අවස්ථාව පසුගිය නිදහස් දින ජාතික උත්සවයදී කළ කතාවය.

ජනාධිපති  රාජපක්ෂ, මේ අදහස් පුන පුනා කීමෙන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට වුවමනාවකින් පසුවන බව පෙනේ. එහෙත් ඔහු එය කියන්නේ ටිකක් පිරිපහදු ආකාරයෙනි. හෙවත් වටෙන් ගොඩෙනි. ඔහු කියන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයට හිමි බලතල  ක්‍රියාත්මක කිරීමේ දී අනෙක් ආයතන ඒ ඒ ආයතනයට ඇඟිලි නොගැසිය යුතුය යන්නයි. 

එහෙත්, ඔහු අවසානයට කියන්නේ  'තමාට ජනවරමක් ලැබී තිබෙන බැවින් ක්‍රියාත්මක කිරීමේදී, අනෙක් ආයතන දෙක එනම්, ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) හා අධිකරණය බාධා නොකළ යුතුය' යන්නයි.

බැලූබැල්මට ජනාධිපතිවරයා කියන කතාව අහිංසකය:

''ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතා සංවරණ හා තුලන ක්‍රමය නුරුස්සන බව ඔහු කියන දෙයින් පෙනේ.''
 

බැලූබැල්මට ජනාධිපතිවරයා කියන කතාව අහිංසකය. නිවැරදිය. බලතල බෙදීමේ න්‍යාය අනුවත්, රටක ප්‍රධාන පාලන ආයතන තුළ අනන්‍ය වූ බලතල තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීමේදී අනෙක් ආයතන දෙකෙන් බාධාවක් නොමැතිව ක්‍රියාත්මක වීමට එක් එක්  ආයතනයට හැකියාව තිබිය යුතුය. 

වෙන විදියකට කිවහොත් එක් එක් ආයතනය, තමන්ට නීතියෙන් (බොහෝ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ) බලය ලැබී තිබෙන සීමාව තුළ කටයුතු කරන විට අනෙක් ආයතනයකට බලපෑමක් කළ නොහැකි ය.

එහෙත් ප්‍රශ්නය පැනනගින්නේ, යම් ආයතනයක් තමන්ට නීතියෙන් පැවරී ඇති සීමාව ඉක්මවා එනම් නීති විරෝධීව කටයුතු කරන විටය. 

එවිට,  අනෙක් ආයතන දෙක ඉදිරියට පැමිණ, එකී ආයතනයේ, නීති විරෝධී ක්‍රියාත්මක වීම වළක්වාලයි. දේශපාලන විද්‍යාවේදීත් නීතියේදීත් එය හැඳින්වෙන්නේ 'සංවරණ හා තුලන' ක්‍රියාත්මක කිරීම යනුවෙනි.

2018 ඔක්තොම්බර්  26 වැනිදා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැතිවරයා ඉවත් කර  වෙනත් අගමැතිවරයෙකු පත් කිරීමේ සිදුවීම ආසන්නතම උදාහරණය හැටියට ගත හැකිය. 

ඉන්පසු පත්කළ  අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත නොහැකි බව පෙනීයාම නිසා, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට  දින නියම කිරීම්යි. ජනාධිපතිවරයා කිව්වේ, තමාට ජනතාවගෙන් ලැබී තිබෙන ජනවරමට ගරු කරමින් දූෂිත අගමැතිවරයා ( රනිල් වික්‍රමසිංහ ) හා ආණ්ඩුව පලවා හැරිය බවයි.

සිරිසේන ජනාධිපතිවරයාට ජනවරමක් ඇති නමුත්, ඔක්තෝබර් 26 හා තදාසන්න කළාක්  වැනි දේ කරන්නට එම ජනවරමෙන් අවසරයක් නැත. එම ක්‍රියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසාය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා ලක්ෂ 62ක ජනවරමකින් පත්වී ඇතැයිද, ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වන තුරු ඔහුට ඒ ලක්ෂ 62 හි බලය ඇතැයි ද, ඒ නිසා ඔහු කරන කියන දේවල්වලට අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් බාධා නොකළ යුතු යැයිද සැලකුවා නම්, රට මුළුමනින්ම අනතුරේ හා අඳුරේ හෙළන ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවී මහත් විනාශයක් වන්නට ඉඩ තිබිණ. රට පාලනය කරන්නට ආණ්ඩුවක් නැතිව අරාජික තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබිණ.

ඒ උදේ සිදුවූයේ කුමක්ද? 

සිරිසේන ජනාධිපතිවරයා ගේ හිතුවක්කාර හා වැරදි තීරණ ආපස්සට හරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමයි. පාර්ලිමේන්තු ඒ තීරණයට විරෝධය පෑවත්, දිගින් දිගටම පාර්ලිමේන්තුව කල් දමන තත්වයක් යටතේ එහි ක්‍රියාකාරීත්වය නිශේධනය කිරීමට ජනාධිපතිවරයා සමත්විය. 

එනිසා, ආපස්සට හරවා ගත හැකි එකම ආකාරය නම්, අධිකරණය ඉදිරියට ගොස්, සිරිසේන මහතාගේ ක්‍රියාව නීති විරෝධී බව කියාසිටීමයි. අධිකරණය ඉල්ලීම සලකා බලා, ඒකමතිකව තීරණය කෙළේ, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඒ මොහොතේ නැති බවයි.

ඒ වන තෙක්, ජනාධිපතිවරයාත්, අලුතෙන් පත්කරන ලද අගමැතිවරයාත් සිටියේ තමන් කළ දේ නිවැරදියැයි කියමිනි.  ඔවුන්ට සිය අශික්ෂිත සටන අතහැර දැමීමට සිදුවූණේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව, සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව තීරණය කළ නිසා, තවත් කරගන්නට දෙයක් නැති තත්වයක් යටතේය.

ඒ වන තෙක් අධිකරණය කිසිම අවස්ථාවක සිරිසේන මහතාගේ පාලනයට ඇඟිලි ගැසුවේ නැත. බාධා කළේ නැත. එහෙත්, ඔහු වරදක් කළ විට අධිකරණය ඉදිරියට පැමිණ වැරදි තීන්දුවක් බව පෙන්වා දුන්නේය. 

රාජපක්ෂවරුන්ගේ අතීතයට....

රාජපක්ෂවරුන්ගේ අතීතයට ගියහොත්, අධිකරණය තමන්ගේ වැරදි පෙන්වා දෙන විට ඒ ගැන ඔවුන් නොසතුටු  වූ බව පැහැදිලිව පෙනෙයි.  කුප්‍රකට සිදුවීම් ආචාර්ය ෂිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය, ධුරයෙන් ඉවත්කිරීම සඳහා ගෙනා දෝෂාභියෝගයයි. දිවි නැගුම පනත කෙටුම්පත, පළාත් සභාවට බලපාන විෂයක් ඇතුළත් පනත් කෙටුම්පත් නිසා, පළමුව පළාත් සභාවලට  යවා ඒවායේ එකඟතාව ලබාගෙන පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලෙස අගවිනිසුරුවරිය මූලාසනය ගත් විනිසුරු මඩුල්ල නියම කළ විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ තීරණය දුටුවේ තමන්ගෙ ' ජනවරමට කරන ලද අපහාසයක්, බාධාවක් හැටියටය. 

අවසාන ප්‍රතිඵලය වුණේ කුමක්ද ? බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය" ලැජ්ජා සහගත  දෝෂාභියෝග  ක්‍රියාවලියක් හරහා ධූරයෙන් පලවාහැරීමයි.

බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග වනාහී රාජපක්ෂ ආණ්ඩුව කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව, බයක් සැකයක් නැතිව ගල් හිතුවක්කාර ක්‍රියාමාර්ගයකි. ඕනෑ දෙයක් ඕනෑ කෙනෙක් කළාවේ,අපට වුවමනා වැඩේ අප කරනවාය යන්න ඒ මොහොතේ රාජපක්ෂ ආණ්ඩුවේ චින්තනය හැටියට ක්‍රියා කළේය.

රාජපක්ෂවරුන්ගේ ඒ අතීත කාර්ය දර්ශනය අතේ ඇතිව බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවත් මේ පටන් ගත්තා පමණකි. තවමත් ' බලය ' නැමති පොළොවේ පය පිහිටුවා ගත්තා පමණකි. ගෝඨාභය රාජපක්ෂ මහතා,  දැනටත්  දෙවරක්ම කියා ඇති ඉහත කතාවද, අප සලකා බැලිය යුත්තේ, දීර්ඝ ගමන මූලික පෙරනිමිතක් හැටියටය. මේ යන විදියට ඒ දීර්ඝ ගමන වැටී ඇත්තේ කුමන මාවතකදැයි ඇපැහැදිලි නැත.


විධායක ජනාධිපති ක්‍රමයේ විසකුරු මුහුණුවරක් :


අනෙක් අතට, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අප සැලකිල්ලට ගත යුත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ විසකුරු මුහුණුවරෙහි ' ළදරු  ප්‍රකාශනයනක් ලෙසය. ඔහුට ඒ කතාව කියන්නට ඉඩ ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවමත් ඇති අධිකාරිවාදී මුහුණුවර නිසාවෙනි. 

තවමත් අපේ ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයා පත් වන්නේ සෘජුවම මහජන ඡන්දයෙනි. ඒ නිසා, අප බොහෝවිට පෙන්වා දී ඇති පරිදි, ඔහුටත්, පාර්ලිමේන්තුවට මහජන බලය ලැබෙනවා මෙන්ම වෙනම බල උල්පතකින් ජන බලයක් ලැබේ. 

පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා කරන්නේ, තමාට ලැබුණු ජනවරම පෙන්වමින්, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තමන්ට ඕනෑ විදියට සිටිය යුතුයැයි තරවටු කිරීමයි. මෙය විධායක ජනාධිපති ක්‍රමය සහිත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රමුඛතම, විසකරු ලක්ෂණයකි. 

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට, මහජන ඡන්දයෙන් සෘජුව ඔහු හෝ ඇය තේරී පත්වන ක්‍රමය වෙනස්කොට, පාර්ලිමේන්තුවෙන් හෝ ඊට සමාන ක්‍රමයකින් පත්කිරීමේ ක්‍රමයට අප යායුතු යැයි කියන්නේ එහෙයිනි. එවිට, සිය බලය පෙන්වමින් අනෙක් ආයතක දෙකට තරවටු කිරීමට ජනාධිපතිට නොහැකිය.

ජනතාවගෙන් කෙලින්ම පත්වුණු නමුත්, ජනාධිපතිට සර්ව බලධාරිත්වයක් නොලැබේ. ඔහු හෝ ඇය , රටේ පාලන තන්ත්‍රයේ එක් කොටසක් පමණකි. එවැනි පාලන ආයතන තුනක් තිබේ. දැනට පවතින තත්වය අනුව , ජනාධිපතිට කිසියම් වැඩි බලයක් භුක්ති විඳිය හැකි නමුත් , ඔහු කොටස් තුනකින් එකක් පමණකි. 

''ඊනියා උගතුන්, බලතල බෙදීමේ න්‍යායක් ඇති බව ජනාධිපතිට පෙන්වා දිය යුතුයි''

ජනාධිපතිට සර්ව බලධාරිත්වයක් ඇතැයි කීමෙන් හා පිළිගැනීමෙන් අප නිර්මාණය කරන්නේ පාලනයක් නැති බල රකුසෙකි . 

හරි නම් , පොදු ජන පෙරමුණේ සිටින, මේ දවස්වල මහමැතිවරණයට නාමයෝජනා ලබා ගැනීමට වියරු සටනක යෙදී සිටින ඊනියා උගතුන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, තනියෙන් තමන්ට වුවමනා දේවල් පමණක් කරන්නට නොහැකි බවත්, බලතල බෙදීමේ න්‍යාය පවා ඇති බවත්, ඔහු අනෙක් ආයතන දෙකට වගකිවයුතු බවත් පෙන්වා දිය යුතුය. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතුයැයි ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇති බවද පෙන්වා දිය යුතුය.

බලතල බෙදීමේ න්‍යාය අනුවත්, ඒ න්‍යාය බොහෝ දුරට අනුගමනය  කරමින් නිර්මාණය කර ඇති අපේ ව්‍යවස්ථාව අනුවත්, ඒ ඒ ආයතනවලට අයත් බලතලද, ඒවා අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්නට ගියහොත්, අනෙක් ආයතනවලට කළ හැකි බලපෑම්ද දක්වා තිබේ.

එක් එක් ආයතන හිතුවක්කාර ලෙස වැඩ කරන්නට ගියහොත්, කඩවන්නේ ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම්ය. එවැනි විටෙක ජනතාවට ඉක්මනින්ම ප්‍රතිකර්ම ලබාග ගත හැකි තැන අධිකරණයි. අධිකරණය යුක්තිය පතා යා හැකි අවසාන දේවාලයැයි කියන්නේ ඒ නිසාය. අධිකරණයක් නොතිබුණේ නම්, ලංකාව පමණක් නොව ඕනෑම රටක ජනතාව මුහුණදෙන විනාශය කෙතරම් ද සිතා ගත හැකිද?   
ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු, ප්‍රධාන වශයෙන් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන රාමුව අඩංගු ලේඛනයයි. ජනතාවගේ පරම-ආධිපත්‍යය කොටස් පහකින් සමන්විතය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මුලික අයිතිවාසිකම් හා ඡන්ද බලය යනුවෙනි. 

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට හිමිය. ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයාට හිමිය. අගමැතිත් ඇමති මණ්ඩලයත්, මුළුමහත් රාජ්‍ය සේවයත් ඔහුට ඒ බලය ක්‍රියාත්මක කිරීමට උදව් වෙයි. 

ජනතාවගේ අධිකරණ බලයද පාර්ලිමේන්තුවට හිමි වන අතර, පාර්ලිමේන්තුව එම බලය අධිකරණ මගින් ක්‍රියාත්මක කරයි. පාර්ලිමේන්තුව පත්වන්නේද ජනතාවගේ ඡන්දයෙනි.

 ඒ අනුව අධිකරණ බලය යනු, ජනතාවගේ ඡන්දයෙන් තමන්ටම ලද බලය, අධිකරණය ලවා, පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරවීමකි, අධිකරණය බාධා කරන්න එපායැයි රාජපක්ෂ ජනාධිපතිවරයා කියන විට, ඇත්ත වශයෙන්ම ඔහු  තරවටු කරන්නේ යළිත් පාර්ලිමේන්තුවට බව ඉහත විස්තරයෙන් පැහැදිලි වේ.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවවට තරවටු කරන්නට කිසිම අයිතියක් බලයක් නැත. තමාට ලැබෙන ජනවරම මෙන්ම ජනවරමක් ව්‍යවස්ථාදායකයට ද ලැබී ඇති බව  ජනාධිපතිවරයා තේරුම්ගගත යුතුය. නැතිනම් ඔහු වටා සිටින ' වියතුන් ' ඒ බව නාධිපතිවරයාට වටහා දිය යුතුය. 

මහජනතාව නැමැති බල උල්පතේ මේ ආයතන දෙකට වෙන වෙනම අවස්ථාවලදී ලැබෙන ජනවරම, පාගා දමන්නට එක් එක් ආයතනයකට ඉඩක් නැත. ජනාධිපතිට හිතුමතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැරිය කියන්නේත්, පාර්ලිමේන්තුවට හිතුවක්කාර ලෙස දෝෂාභියෝගයකින් ජනාධිපති ඉවත් කිරීමට ඇති බලය හැකි තරම් අමාරු කර තිබෙන්නේත් මේ නිසාය. 

රිසි මොහොතක විසුරුවීමේ බලය තිබුණා නම්, අවුරුද්දකට සැරයක් මහ මැතිවරණය මේ රටේ පැවැත්වෙනවා ඇත. සරල දෝෂාභියෝග ක්‍රියාවලියක් තිබුණේ නම්, අවුරුද්දකට සැරයක් ජනාධිපතිවරයකු පත්කරන්නට සිදු වෙනවා ඇත.

වැදගත් කාරණය, එක් ආයතනයක්, අනෙක් ආයතනයේ බලතලවලට ගරු කළ යුතු බවයි. බාධා නොකළ යුතු බවයි. එහෙත් ,නරක වැඩ කරන්නට හදන විට අනෙක් ආයතන දෙක ඉදිරියට පැමිණ ඒවා වැළැක්විය යුතුමය. එය නීත්‍යනුකූලය.  

ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සංවරණ හා තුලන ක්‍රමය  නුරුස්සන බව ඔහු කියන දෙයින් පෙනේ. පාලනයකට ඇති සංවරණයන් හා තුලනයන් විනාශ කරගන්නා පාලකයකු සිය චාරිකාව අවසන් කරන්නේ, ආඥාදායකයකු ලෙස මහ විනාශයකින් පසුව විය හැකිය.

(අනිද්දා )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්