ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි වරදකරු කොට වසර 4 ක සිර දඬුවම් නියම වී සිටින

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇපමත මුදා හරින ලෙස උන්වහන්සේගේ නීතිඥවරු කරන ලද ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද (අප්‍රේල් 02 වැනිදා) ප්‍රතික්ෂේප කළේය.

ඥානසාර හිමිට දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ය.


තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමි අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා පෙත්සම විභාග කොට තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා උන්වහන්සේ සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර ති‌බුණි.


එම ඉල්ලීම අද කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු ඉදිරිපත් කළේය.

" ස්වාමීනි... වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට නියම කර තිබෙන වසර හතරක සිර දඬුවම බන්ධනාගාර රෙගුලාසි වලට අනුව වසර දෙකක් සහ මාස කීපයකින් අවසන් වීමට නියමිතයි. මෙවැනි අවස්ථාවක සානුකම්පිත ආකාරයෙන් කටයුතු කරමින් උන්වහන්සේට ඇප ලබාදීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. වර්තමානයේ අභියාචනාදීකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් පවතිනවා. එම නිසා අභියාචනා විභාගවලද ප්‍රමාදයක් මතුවී තිබෙනවා. සාමාන්‍යයෙන් වසර තුනක් හෝ හතරක් සිර දඬුවම් නියම වී සිටින විත්තිකරුවන්ගේ අභියාචනා විභාග කිරීමට ඊටත් වඩා කාලයක් ගතවන තත්ත්වයක් පවතිනවා. එවැනි කාලයක් යම් විත්තිකරුවකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම යුක්ති සහගත නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ඇප පනත ප්‍රකාරව පුද්ගල නිදහස උතුම් කොට සැලකිය යුතුයි. එම නිසා ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට අධිකරණයට අභිමතය පැවරී තිබෙනවා. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයන් කිහිපයක්ද තිබෙනවා." මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා උන්වහන්සේ ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා " ස්වාමීනී... වර්තමානයේ අභියාචනාධිකරණයට වැඩි විනිසුරුවරු සංඛ්‍යාවක් පත් කර තිබෙනවා. එසේම අභියාචනා පෙත්සම් විභාගයත් කාර්යක්ෂම වී තිබෙනවා. එම නිසා අභියාචනා විභාගවල ප්‍රමාදයක් පවතින බවට විත්තිය විසින් ඉදිරිපත් කරන කරුණු ඇප ලබාදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සලකන්න බැහැ. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයක් පවතින බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළා. එහෙත් උන්වහන්සේට බන්ධනාගාර රෝහලේ දී ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ අසනීප තත්ත්වයක් තිබේදැයි පැහැදිලි කිරීමට විත්තියේ නීතිඥවරයා කටයුතු කළේ නැහැ. එම නිසා මෙම කරුණු සුවිශේෂ කරුණු ලෙස පිළිගන්න බැහැ."යනුවෙන් රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

"වරදකරුවන් සම්බන්ධයෙන් ඇප ප්‍රදානය කිරීමට ඇප පනත යටතේ අධිකරණයට හැකියාවක් තිබෙන බව විත්තිය ප්‍රකාශ කළා. එහෙත් ඇප පනතේ ප්‍රතිපාදන අදාළ වන්නේ සැකකරුවන්ට මිස වරදකරුවන්ට නොවේ. අධිකරණය මගින් වරදකරු වූ පුද්ගලයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චිත තීන්දු ගණනාවකම සඳහන් කර තිබෙනවා. ඒ අනුව අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවකුට ඇප ප්‍රදානය කිරීමේදී අදාළ වන්නේ සුවිශේෂ කරුණු පමණයි. මෙම නඩුකරයට අදාළව විත්තිය විසින් සුවිශේෂ කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. අභියාචනා නඩු ප්‍රමාදය සහ විත්තිකරුගේ රෝගී තත්ත්වය ඒ අතර ප්‍රධාන වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විනිශ්චිත නඩු තීන්දු ප්‍රකාරව අභියාචනා නඩු විභාග ප්‍රමාදය වරදකරුවකුට ඇපදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සැලකිය නොහැකි බව දක්වා තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ විත්තිකාර ස්වාමීන් වහන්සේට ඇප නියම කිරීමට තරම් සුවිශේෂ කරුණු අනාවරණය වන්නේ නැහැ." යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා ඉන් අනතුරුව විත්තිකාර ස්වාමීන් වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය පැවති අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළත් ඉන් පිටතත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් රැස්ව සිටියහ.

ඇප නියෝගය ප්‍රකාශයට පත්වීමෙන් පසුව අධිකරණ භූමියට වැඩම කර සිටි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මාධ්‍ය වලට අදහස් පළ කළහ.


" ඥානසාර හිමියන් කතා කළේ අපේ රටේ තිබෙන අන්තවාදී ප්‍රශ්නය ගැන. ඒ ප්‍රශ්නය අදත් එලෙසම තිබෙනවා. සිංහල බෞද්ධ ජනයා වෙනුවෙන් තමයි උන්වහන්සේ හඬ නැගුවේ. කෙසේ වෙතත් අපි අධිකරණ තීන්දුවට ගරු කරනවා. මෙම තීන්දුවට එරෙහිව අප ඉහළ අධිකරණයෙන් සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා." යනුවෙන් මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කළහ.



( BBC සිංහල සේවය )

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්