theleaderlk 01

උතුරේත් දකුණේත් නැගෙනහිරත් සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් සෑදීමට ජාතික ජන බලවේගයේ නායකයා

යෝජනා කර තිබේ.

ජාජබ නායකයා අනුර දිසානායක යාපනයේ වලම්බුරි සංගිලියන් ශාලාවේදී පැවති ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව අමතමින් මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

එම සමුළුව සඳහා දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක් එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මෙසේ පැවසිය.

''අපි ඔබ හමුවෙන්න ආවේ මේ රට ගොඩනගන්නේ කොහොමද කියලා කතා කරන්න''

“අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු ආයෝජකයෙක් එන්නේ නැති රටක් බවට පත්වෙලා. අලුත් ණයක් අරගන්න බැරිතරමට ලෝකය තුළ විශ්වාසය බිඳ වැටිලා. මේ රට ගොඩනගන්න අපට අවශ්‍යයි.

අපි ඔබ හමුවෙන්න ආවේ මේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? මේ රට ගොඩනගන්නේ කොහොමද කියලා කතා කරන්න.


 අපේ රටේ ඇතිවී තිබෙන මෙම අර්බුදය ස්වභාවික විපතක ප්‍රශ්නයක්ද? මහා ගංවතුරක්, සුළි කුණාටුවක්, සුනාමියක් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්ද? නැහැ මෙය අපේ රට දීර්ඝ කාලයක් පාලනය කරන ලද කණ්ඩායම් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්. විශේෂයෙන් අපේ රට අනුගමනය කරන ලද දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත්, මේ අර්බුදය ඇතිකර තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත් වෙනස් වෙන්න ඕනෑ.


අපි දන්නවා මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව. උතුරේ ජනතාව ජනාධිපතිවරණයකට උනන්දු නොවෙන බව අපි දැක තිබෙනවා. අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරන එක, කොළඹ නායකයෙක් පත්කරගන්නා සිංහල ජනතාවගේ වැඩක් වගේ අදහසක් තිබෙනවා. අපේ රටේ තෝරන ලද ජනාධිපතිවරුන් අනුගමනය කළ ප්‍රතිපත්ති උතුරටත් දකුණටත් විනාශකාරී ලෙස බලපා තිබෙනවා. ඒ නිසා රටට නායකයන් තෝරා ගැනීමේදී උතුරේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍යයි කියා අපි සිතනවා.

 
''අපි ආවේ අලුත් පාරක් සොයා බැලීම ගැන කතා කරන්න''

අපි ඔබව හමුවෙන්න ආවේ, ඔබලාට 13 ප්ලස් දෙන්නම්, ෆෙඩරල් දෙන්නම්, ඔබ අපට ඡන්දෙ දෙන්න කියා ඉල්ලන්න නොවෙයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රට කඩා වැටී තිබෙන විපත්තියෙන් ගොඩගන්නේ කොහොමද කියා කතා කරන්න. දීර්ඝ කාලයක් අපේ නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියා කතා කරන්න. අපි හැමදෙනාටම කියන්නේ අපේ රටට අලුත් පාරක් ඕනෑ කියලා. ඒ නිසා අපි ආවේ අලුත් පාරක් සොයා බැලීම ගැන කතා කරන්න.

අපේ රට වෙනස් කරන්න නම්, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය මොකක්ද? ඉතාමත් විනාශකාරී පොලිටිකල් කල්චර් එකක් තමයි මේ රටේ තියෙන්නේ. වංචාවෙන් දූෂණයෙන් පිරී තිබෙනවා. භාණ්ඩාගාරයට එන මහජනයාගේ ධනය ඇමතිවරුන්ගේ ගිණුම්වලට, කූට ව්‍යාපාරිකයන්ගේ ගිණුම්වලට හරවා තිබෙනවා. භාණ්ඩාගාරයට ආපු ධනය දේශපාලකයන් නාස්ති කරනවා, සොරකම් කරනවා. 


ඔබ දන්නවා බාල බෙහෙත් චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරගතකරලා. රටේ ජනාධිපතිවරයාට මහ බැංකුව මංකොල්ල කෑම පිළිබඳව චෝදනාවක් තිබෙනවා. වර්තමාන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කෑ ගහලා කිව්වා ජනාධිපතිවරයා බැංකු හොරෙක් කියලා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කෑගහලා කිව්වා මහින්ද රාජපක්ෂ හොරෙක් කියලා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද?


මේ නාස්තිකාර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද?

අපේ රටේ උතුරේ ජනතාවත්, දකුණේ ජනතාවත් මේ දූෂිතයන්ගේ ග්‍රහණයට අසුවී ඉන්නවා. මේ දූෂිතයන් උතුරෙත් දකුණෙත් අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරමින් ඉන්නවා. අපේ රට ගොඩනගන්න මේ දූෂණය නතර කළ යුතුයි. අපි ජාතික ජන බලවේගය ඒ වැඬේ කරන බවට ඔබට සහතික වෙනවා. මහජනයාගේ ධනය නාස්තිකරන දේශපාලනය නතර කරන්න ඕන නැද්ද? අපේ රටේ කිසිදු මූල්‍ය රෙගුලාසියකට අනුව ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල් ගෙවන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් අමාත්‍යවරයාට අවශ්‍ය වෙන මුදල්, ප්‍රතිපාදනය කොට දෙනවා. හැබැයි, ඇමතිවරුන්ගේ ගෙවල්වල වතුර බිල්, ලයිට් බිල් ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. සමහර ඇමතිවරුන්ගේ මාසික ලයිට් බිල එක්ලක්ෂ තිස්දාහයි. ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. වැසිකිළි කැසිකිළි පහසුකම් දෙන්නේ මහජනයාගේ ධනයෙන්. ඇමතිවරයාට, බිරිඳට, ඔහුගේ දරුවන්ට මහජනතාවගේ ධනයෙන් වාහන ලබාදෙනවා. මේ නාස්තිකාර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද?

 ජනාධිපතිවරයාට විදෙස් සංචාරය සඳහා අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඒ වෙන්කළ මුදල් ජනාධිපතිවරයා අවුරුද්ද පටන් ගන්නකොටම වියදම් කර ඉවරයි. පසුගිය දිනෙක රුපියල් මිලියන 200ක් ඔහුගේ විදෙස් සංචාර සඳහා වෙන්කර ගත්තා. තනි පුද්ගලයෙක් වෙනුවෙන් එතරම් මුදලක් දැරිය යුතුද? මේ අපේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගේන්න, දරුවන්ට උගන්වන්න, පහසුකම් දෙන්න, ගමේ පාර හදන්න, පානීය ජල ව්‍යාපෘතියක් දියත් කරන්න, තිබෙන සල්ලි, අතළොස්සක් නාස්තිකරමින් තිබෙනවා. අන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි නතර කරන්න ඕනෑ.


ඒ විතරක් නොවෙයි, අපේ රටේ අපරාධ, කුඩු ව්‍යාපාර පිටුපස්සේ ඉන්නේ දේශපාලකයන්. අපරාධකරුවන්, කුඩු ව්‍යාපාරිකයන් රටක් පාලනය කරනවා. එහෙම රටකට ඉදිරියට යන්න හැකිද? අපේ රටේ නීතියක් තිබෙනවා. පොඩි අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. උඩ අය නීතියෙන් බේරෙනවා. වර්තමාන පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් ලබපු කෙනෙක්. ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තිබෙනවා. එහෙම කෙනෙක් කොහොමද, රටේ නීතිය සාධාරණව ඉටුකරන්නේ. සියලුම සංස්ථා කඩා වැටී තිබෙන්නේ. එහෙම රටකට ඉස්සරහට යන්න හැකිද? ඔබට යම් ප්‍රශ්නයක් වෙලා පොලීසියට ගියොත් සාධාරණත්වය ඉටුවෙයි කියා විශ්වාසයක් තිබෙනවාද? එහෙම විශ්වාසයක් නැහැ. අපි ඉදිරියේ තිබෙන්නේ කඩා වැටුණු රාජ්‍යයක්. උතුරේ, දකුණේ, නැගෙනහිර බේදයකින් තොරව, අපි කඩා වැටුණු රාජ්‍යයේ ගොදුර බවට පත්වී තිබෙනවා.


''සිංහල නායකයන් රට, ආගම, ජාතිය බේරා ගැනීම කියන බෝර්ඩ් එකෙන් රට අවුස්සනවා''

මෙතරම් ව්‍යසනයක් වී තිබියදී, රටකට කළ හැකි සෑම අපරාධයක්ම කර තිබියදී, ඒගොල්ලෝ බලයේ ඉන්නේ කොහොමද? මොකක්ද ඔවුන් බලය පවත්වාගෙන යාමේ රහස. ඔවුන් බලය පවත්වා ගන්නේ ජාතිවාදයෙන්. අනෙක් ප්‍රශ්න සියල්ලම යට කරලා සිංහල නායකයන් රට, ආගම, ජාතිය බේරා ගැනීම කියන බෝර්ඩ් එකෙන් රට අවුස්සනවා. ඒක තමයි ඔවුන්ගේ පැවැත්ම. උතුර, නැගෙනහිරත් එහෙමයි. ජාතිවාදය, මේ විනාශකාරී දේශපාලකයන්, ඔවුන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකය බවට පත්කරගෙන තිබෙනවා.

අපට ජාතික සමගිය ගොඩනැගීමේ දැක්මක් තිබුණේ නැහැ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ සමගිය වැළැක්වුවා. සුද්දා එදා අපේ රට පාලනය කළේ අපව බෙදා වෙන්කරලා. 1505 සිට 1948 දක්වා විදේශීය බලවතුන්ගේ ආදිපත්‍යයට අපි යටත් වෙලා තිබුණා. 1815 සිට 1948 දක්වා මුළුමනින්ම සුද්දාගේ ආධිපත්‍යයට මුළු රටම යටත් වෙලා තිබුණා. අවරුදු 133ක්ට පස්සේ රට බාර ගත්ත කළු සුද්දා ඊටත් වඩා වැඩියෙන් අපව බෙදුවා. අපට ජාතික සමගිය නිර්මාණය කරන්න බැරි වුණා. 1948 නිදහස ලබලා 1949 පුරවැසි පනත ගේනවා. කඳුරට ජනතාවගේ දේශපාලන අයිතිය අහෝසි කළා. ඒකට විරුද්ධව 1949 දී චෙල්වනායගම් මහතා ‘තමිල් අරසු කච්චි’ ගොඩනඟනවා. 1956දී භාෂා ප්‍රශ්නයත්, 1958දි දෙමළ සිංහල කෝලාහලයත් පැන නගිනවා. 1981 දි යාපනයේ පුස්තකාලය ගිනි තියනවා. 1983දි ජූලි කලබල ඇති කරනවා. 2009 යුද්ධය අවසන් වෙනවා. යුද්ධය අවසන් වුණාට පසුව මේ ප්‍රශ්නය විසඳුනාද? 2015 වෙනකොට වඳ කොත්තු, වඳ ඇඳුම් එනවා. 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා. මුළු ඉතිහාසයම ගැටුම්කාරී ඉතිහාසයක්.


අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් යනු අනෙකාට එරෙහි දේශපාලනය. දකුණේ සිංහල ජනතාව සංවිධානය කරන්නේ උතුරට එරෙහිව. උතුරේ දෙමළ ජනතාව සංවිධානය කරන්නේ සිංහල ජනතාවට එරෙහිව. මුස්ලිම් ජනතාව සංවිධානය කරන්නේ සිංහල ජනතාවට එරෙහිව. මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට එරෙහිව සංවිධානය කරනවා. ඒ දේශපාලනය කළේ අපේ සීයලා, අපේ අම්මලා, තාත්තලා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා. මෙය නැවත ඇතිවෙන්න දෙන්න ඕනද? අපේ පරම්පරාවේ ලේවලින් මේ පොළොව තෙත් වුණා. දෙමව්පියන්ගේ කඳුළු ගංගාතරම් ගැලුවා. බිරින්දෑවරුන්ට ස්වාමීන් අහිමි වුණා. දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන් අහිමි වුණා. රටම ඛේදවාචකයක් වුණා.


''අපි එක්වෙලා එක ආණ්ඩුවක් හදමු. අපි අලුතින් හිතමු''

අපි මේ ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි, ඒ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්. අපි උතුරේ ඇත්ත දේශපාලන නායකයන්ට කියන්නේ, ඔබ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සැබවින්ම කල්පනා කරනවා නම්, අපි එකතු වෙන්න ඕනෑ. අපි උතුරේ නායකයන්ට ආරාධනා කරනවා උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳීමේ දේශපාලනය බවට පත්කර ගනිමු. අපි එක්වෙලා එක ආණ්ඩුවක් හදමු. අපි අලුතින් හිතමු.

අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවෙන්න පුළුවන්. ඒත් අපිට දැනෙනවා ඔබගේ වේදනාව. අපි හදන්න ඕන අලුත් රටක්. අපේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. ඒ භාෂාවන් දෙකටම සම අයිතිය තිබෙනවා. රාජ්‍යයත් එක්ක තමන්ගේ භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අයිතිය තිබෙනවා. දෙමළ පුරවැසියෙකුට, පොලීසියට ගොස් තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් කිරීමේ අයිතිය තිබෙනවා. රජයට තමන්ගේ භාෂාවෙන් ලිපියක් යවනවා නම්, තමන්ගේ භාෂාවෙන් පිළිතුරු ලැබිය යුතුයි. ඒ නිසා රාජ්‍ය ආයතනවලට, ත්‍රිවිධ හමුදාවන්ට, පොලිසියට, රාජ්‍යයේ වැදගත් ක්ෂේත්‍රයන්ට දෙමළ තරුණ තරුණියන්ගේ අනුපාතය වැඩි කළ යුතුයි කියා අපි සිතනවා.


ආගමත් එහෙමයි. ආගම යනු තමන්ගේ විශ්වාසය. ඔබ ඉපදෙන්නේ හින්දු, දෙමළ පරිසරයේ. ඔබගේ ආගම, ඔබගේ සංස්කෘතිය හින්දු-දෙමළ සංස්කෘතියක් වෙනවා. මා ඉපදෙන්නේ සිංහල, බෞද්ධ පරිසරයක. මගේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ නිසා ඔබගේ විශ්වාසය පහත්කොට මගේ විශ්වාසය උසස් කොට සැලකිය හැකිද? සෑම කෙනාටම තමන්ගේ ආගම ඇදහීමේ, ආරක්ෂා කරගැනීමේ අයිතිය තහවුරු වෙන රාජ්‍යයක් අපේ රටේ බිහිවිය යුතුයි.


''මේ පැරණි, ජාතිවාදී, ගෝත්‍රිකවාදී ඒවා සියල්ල අයිති පැරණි සමාජයට''

ඓතිහාසික පුරාවස්තු සොයා ගන්නකොට, අපි රණ්ඩු පටන් ගන්නවා. අපේ වගකීම මොකක්ද? එම පුරාවස්තු ජාතික උරුමයන්සේ සලකා, ආරක්ෂා කොට, සංරක්ෂණය කොට, අනාගත පරම්පරාව වෙනුවෙන් සුරැකීම තමයි අපේ වගකිම. ඓතිහාසික ස්ථාන මතුවීම අපි ගහගන්න ඕන දෙයක්ද? අපේ එකිනෙකාගේ සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. ඔබගේ ප්‍රධාන උත්සවය තෛපොංගල්, මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන උත්සවය රාමසාන්, සිංහල ජනතාවගේ ප්‍රධාන උත්සවය වෙසක් උත්සවය. කතෝලික ජනතාවගේ ප්‍රධාන උත්සවය නත්තල්. ඒ අපේ සංස්කෘතික අනන්‍යතාවයන්. අපි සමාජයක් ගොඩනඟන්න ඕනෙ කොතෙන්ටද? එක් සංස්කෘතියක් බැහැර කරන, අනෙක් සංස්කෘතිය උසස් කියන සමාජයකටද? අනෙකාගේ සංස්කෘතීන්වලට ගරුකරන, පිළිගන්න නව පරම්පරාවක් අපට අවශ්‍ය නැද්ද? ඒ පරම්පරාව ගොඩනැගීමේ අවශ්‍යතාවය අපට තිබෙනවා.

 මේ පැරණි, ජාතිවාදී, ගෝත්‍රිකවාදී ඒවා සියල්ල අයිති පැරණි සමාජයට. ජාතිවාදය, ආගම්වාදය, ප්‍රතික්ෂේප කරන, එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරන, නව සමාජයක් අපේ රටට අවශ්‍යයි. ඒ නිසා අපි හැමදෙනාම පැරණි ඇඳුම් ගලවා දමා නව ඇඳුම් ඇඳගැනීමේ කාලය උදාවී තිබෙනවා. අපි පැරණි යක්ෂයාගේ පැරණි ලෝගුවේම ඉන්නවාද? වෛරය, ක්‍රෝධය, ලේ, ගැටුම්, වෙඩි උණ්ඩ, වෙඩි බෙහෙත් සුවඳ පැතිරුණු ලෝගුව ඇඳගෙන අනාගතයට යනවාද? එය ගලවා දමා ජාතික සමගියේ නව ඇඳුම ඇඳගෙන ඉදිරියට යනවාද? අපි ඔබට ආරාධනා කරන්නේ අන්න ඒ වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි.


අපි ගනුදෙනු කරුවෝද? මා වෙළෙන්දෙක් නොවෙයි. ගනදෙනුකරුවෙක් නොවෙයි. මා ඇතුළු අපේ ව්‍යාපාරය යෝජනා කරන්නේ මේ රට ගොඩගන්න අපි සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි. අපේ අනාගත දරුවෝ යුද්ධ කරන්නේ නැති රටක් අපිට අවශ්‍යයි. අපේ අනාගත පරම්පරාවට මේ රට ගොඩනගමින් ජීවත් වෙන්න හොඳ ආර්ථිකයක් අවශ්‍යයි. අපිට නව දේශපාලනයක් අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ, අන්න ඒ නව දේශපාලනය වෙනුවෙන් එකතු වෙමු කියලයි. අපිට ඡන්දෙ දෙන්න කියලා මම ඔබට කියන්නේ නැහැ. මම යෝජනා කරන්නේ අපි එකතු වෙලා සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි. ආර්ථිකය ගමන් කරමින් තිබෙන දිසාව හොඳද? නීතියේ විධානයේ ආධිපත්‍යය හොඳද? අපේ අධ්‍යාපනය හොඳද? අපේ ගොවි ජනතාවගේ ජීවිතය, ධීවර ජනතාවගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය හැකිද? අපේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසය තැබිය හැකිද? ඒ කිසිවක් නැති, රාජ්‍යයක් මේක.


මේ සියලු ප්‍රශ්න අපේ රටේ දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න. අර්බුදයේ හේතුව දේශපාලනය නම්, විසඳුම තිබෙන්නෙත් දේශපාලනයෙන්. අපේ රටේ ජාතිවාදය දේශපාලන ජාතිවාදයක්. තම තමන්ගේ පැවැත්ම හා බලය ජාතිවාදය මත පැවැත්ම සකස් කර තිබෙන දේශපාලනයක්. මෙය වෙනස් කළ හැකි වන්නේ කෙසේද? ජාතිවාදී දේශපාලනයට එරෙහිව ජාතික සමගිය දේශපාලනය අතට ගැනීමෙන් විතරයි. අපට ආඩම්බරයක් තිබෙනවා දකුණේ බහුතරය ජාතිවාදයට එරෙහි කොඩිය අතට අරගෙන තිබෙනවා. උතුරේ ඔබට ආරාධනා කරන්නේ ජාතිවාදී කණ්ඩායම් ඉන්නවා නම්, ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ සටන ඉදිරියට ගනිමු. මේක අපේ පරම්පරාවේ වගකීමයි.

 ''මේ රට ගොඩනැගීමට ආර්ථිකයේ විශාල පරිවර්තනයක් අවශ්‍යයි''

ඒ වගේම මේ රට ගොඩනැගීමට ආර්ථිකයේ විශාල පරිවර්තනයක් අවශ්‍යයි. අපට ඉතිහාසයේ කාර්මීකරණය පිළිබඳ යම් දැක්මක් තිබුණා. ඒ සියල්ල විනාශ වුණා. පරන්තන්වල රසායනික කම්හලක් තිබුණා. වාලච්චේනේ කඩදාසි කම්හලක්, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලක් තිබුණා. අද ඒ කාර්මීකරණය කෝ. උතුරේ කුඩා ගම්මානවල රෙදිවිවීමේ මධ්‍යස්ථාන තිබුණා. සියලු ආයතන විකුණා දැමුවා. නැතිනම් වසා දැමුවා. මුළුමනින්ම ජාතික ආර්ථිකයේ කොන්ද විනාශකර දැමුවා. යාපනයේ සැර මිරිස්, මුරුංගා, රතු ළුණු අපේ ගමේ පොළට ආවා. අද සියල්ල විනාශ වෙලා. මේ දේශපාලන අධිකාරියට අපේ ජාතික නිෂ්පාදන ඉස්සරහට ගෙනියන්න සැලැස්මක් තිබුණේ නැහැ. උතුරු පළාතේ හොඳ කිරි නිෂ්පාදනයක් තිබුණා. අද කිසිවක් නිෂ්පාදනය කර ගන්න බැරි රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා.


නිදහස ලබා ගත්තාට පස්සේ, ඉන්දියාවේ ජාතික නායකයන්ට රට කුමන දිසායට ගෙන යා යුතුදැයි දැක්මක් තිබුණා. ඉන්දියානු දැක්ම ඔවුන් විසින් ගොඩනඟන අනාගතය අද ජයග්‍රහණ අත්පත් කරගනිමින් තිබෙනවා. හඳට යන ඉන්දියාවක්, කලාපයට වාහන, බෙහෙත්, ආහාර, තාක්ෂණය බෙදන ඉන්දියාවක් නිර්මාණය වුණේ කොහොමද? ඒ ඉන්දියාවේ අබ්දුල් කලාම්ට ජනාධිපතිවරයෙක් වෙන්න, මන්මෝහංසිංහට අග්‍රාමාත්‍යවරයෙක් වෙන්න, කුලහීන යැයි සමිමත කාන්තාවකට ජනාධිපති ධුරය හොබවන්න පුළුවන්කම තිබෙනවා. විවිධ ජාතීන් සිටින, විවිධ ආගමික ඇදහීම් තිබෙන විවිධ සංස්කෘතීන් තිබෙන රට එක කොඩියක් යටතට ගෙනඒමට පුළුවන්කම ලැබිල තිබෙනවා. අපේ ඉතිහාසය ගැටුම්වලින් පිරුණු ඉතිහාසයක්. අලුත් දේශපාලන පරිවර්තනයක් පටන් ගනිමු. උතුරේ දෙමළ ජාතික නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපි එකතු වෙමු. උතුරේ ජනයා, නැගෙනහිර ජනයා, දකුණේ ජනයා සියලු දෙනා නියෝජනය කරන ආණ්ඩුවක් හදමු. ඒ සඳහා සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි මේ පටන් ගන්නා ලද කුඩා පියවර අපේ රට විශාල ජයග්‍රහණයකින් කෙළවර කළ හැකියි කියා අපි විශ්වාස කරනවා.”

 
(චතුරංග මේදිස්)
Npp Jaffna
 
 
  

pe2024 2

worky sin

නවතම පුවත්