ශ්‍රී ලංකාව කොරෝනා වෛරස් අභියෝගයට මුහුණදීමට සුදානමක් ඇති බවක් දක්නට නොමැති බව පවසන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර,

කොරොනා වසංගතයෙන් පුරවැසි ජීවිත ආරක්ෂා කරගැනීමට වහාම මැදිහත් වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මංගල සමරවීර ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද පැවසිය.

''covid 19 නොහොත් කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට පත්වෙමින් තියෙන මොහොතක ලංකාවේ අපිත් මේ ගැන මීට වඩා අවධානයෙන් ඉන්නට ඕනේ. ඇත්ත වශයෙන්ම කොරෝනා වෛරසය උෂ්ණ සහිත රටවල් අපේ වගේ උෂ්ණ දේශගුණයක් තියෙන රටවල් වල පැතිරෙන්නේ නැහැයි කියලා මතයක් තිබුණත් ඊයේ වෙනකොට බංගදේශය පවා කොරෝනා වෛරසය පැතිරමින් තියෙන බවට වාර්තා වෙනවා.

ඒ වගේම ලංකාවේ අපේ  පුරවැසියන් විශාල ප්‍රමාණයක් කොරෝනා වෛරසය දැනටමත් පැතිර තිබෙන රටවල් වල රැකි රක්ෂා කරනවා, ජිවත් වෙනවා. ඉතාලියේ, දකුණු කොරියාවේ, ජපානයේ , චීනයේ.

 අන්න ඒ නිසා ඇත්ත වශයෙන්ම එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරත් කොරෝනා වෛරස් වසංගතය වැඩි කල් නොගොස් ලංකාවටත් ඇතුල් වීමේ භයානක තත්වයක් තියෙන බවට අපි තේරුම් ගන්න ඕනේ.

''කොරෝනා වෛරස් වසංගතය වැඩි කල් නොගොස්
ලංකාවටත් ඇතුල් වීමේ භයානක තත්වයක් තියෙනවා''
- මංගල

අන්න ඒ නිසා වර්තමාන රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවාද? ඒ වගේම මේ වසංගතය ලංකාව තුළ ඇති වුනහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියා මාර්ග මොනවාද ? ඒ වගේම ඒ වසංගතය සඳහා අපගේ රොහල් ආදිය සුදානම්ද කියන දේ සම්බන්ධයෙන් රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා.

 

ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටුණ මොහොතක් !

විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය මේ අභියෝගය ලංකාවටත් මුහුණ දෙන්නට වෙන්නේ අපේ සෞඛ්‍යය සේවය පසුගිය මාස කිහිපය ඇතුළතදී කවදාවත් නොදුටු විදියට මහා කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා .

අද රෝහල් වල බෙහෙත් නැහැ . එදා අපි ජනතාවට ලබා දුන් බෙහෙත් යලි වතාවක් ඒ සහන නැතිව අධික මිලට ලබා දෙනවා. එදා අපි ජනතාවට ලබා දුන් විවිධ කාච ඇතුළු හැම දෙයක්ම නොමිලේ ලබා දුන් හැමදෙයක්ම නැති කරලා. ඇත්ත වශයෙන්ම පසුගිය මාස තුන ඇතුළත වසර 5කට ආසන්න කාලයක් තුළදී අපි ක්‍රමානුකූලව ගොඩ නැගූ සෞඛ්‍යය සේවය යලි වතාවක් මහා කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා.

අන්න ඒ වගේ මොහොතකයි අපි කොරෝනා වෛරසයේ අභියෝගයට මුහුණ දෙන්න යන්නේ. ඒ නිසා වහාම වර්තමාන රජය මේ සම්බන්ධයෙන් තමන් ගන්නට යන ක්‍රියාමාර්ග කුමක්ද කියලා රටට කියන්න කියලා මම ඉල්ලා සිටිනවා.''

 

 

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ සහ ලොව පුරා තත්ත්වය

Coronavirus in Italyවෙනදා සංචාරකයන්ගෙන් පිරී ගිය මිලාන්හි Vittorio Emanuele II galleria සාප්පු සංකීර්ණය

 

'වසා දැමුණු' ඉතාලිය:

චීනයෙන් පිටත කොරෝනාවෛරසයේ බලපෑම වැඩිපුරම එල්ල වූ රට ඉතාලිය වන අතර, මේ වන විට මරණ 631 ක් වාර්තා වී තිබේ.

වෛරසය පැතිරීම නැවැත්වීමට බලධාරීන් දැඩි උත්සහයක යෙදී සිටිති. රට පුරා සංචාරය සීමා කර, මහජන රැස්වීම් ද තහනම් කර තිබේ.

එමෙන්ම, සියලුදෙනාට සිය නිවෙස් වලට වී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙන අතර, අත්‍යවශ්‍ය සංචාර සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු යැයි එරට රජය දැනුම් දුන්නේය.

"අපට තවදුරටත් කාලය නැහැ," ඉතාලි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

"වෛරසය දැඩි ලෙස පැතිරී යනවා ... ඒ වගේම මරණ. සම්පූර්ණ ඉතාලියම ආරක්‍ෂිත කලාපයක් බවට පත් කර තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

ඉතාලියේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන් සහ සිය ඥාතීන් ඉතාලියේ රැකියාවේ නිරත වී සිටින කීපදෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කළහ.

"මගේ මහත්තයා තව සතියකින් නිවාඩුවට ලංකාවට එන්න හිටියේ. මගේ දරුවෝ දෙන්නා තාත්තා දකින්න බොහොම ආසාවෙන් හිටියේ. නමුත් මේ ඇති වෙලා තිබෙන තත්වයත් එක්ක එයාට අලුත් අවුරුද්ද සමරන්න එන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ," ජාඇල පදිංචි ශ්‍රීමා ප්‍රනාන්දු පැවසීය.

"දරුවන්ට නොපෙන්නුවට මම මහත්තයා ගැන සෑහෙන බයකින් ඉන්නේ. ඒ වගේම පිටරට ඉන්න අය ලංකාවට එන එක ගැන මෙහෙ මිනිස්සු දරණ සමහර මත නිසා සෑහෙන කලකිරිලා ඉන්නේ," ඇය තවදුරටත් පැවසුවාය.

මේ අතර, ඉතාලියේ දිවි ගෙවන දිල්රුක්ෂි නිමේෂිකා පැවසුවේ නොයෙක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලවල පළ වන ආකාරයට ඔවුන්ට ආහාර හිඟයක් නොමැති බවය.

"පාසල් වසා දමලා, උත්සව අවලංගු කරලා තිබුණට අවන්හල්, කඩ වසා දමලා නැහැ. නමුත් ඔවුන්ට සවස 5 හෝ 6 වෙද්දී වහන්න කියලා රජයෙන් නියම කර තිබෙනවා. විවිධ කටකතා, බොරු ප්‍රචාර යනවා අපිට කන්න බොන්න නැහැ කියලා. නමුත් එහෙම තත්ත්වයක් මෙහෙ නැහැ," ඇය කියා සිටියාය.

Coronavirus in Italyකටුනායක ගුවන්තොටුපොළ

"අපි හැමෝම ඉන්නේ බයෙන්, නමුත් ලෝකයේ අනික් අය වගේම අපිත් කොහොමහරි මේ දෙයින් පරිස්සම් වෙන්න බලන්නේ. අනවශ්‍ය දේවල් ප්‍රචාරය කරලා ලංකාවේ ඉන්න අපේ ඥාතීන් බය කරන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා."

ඉතාලියේ රැකියාවක නියුතු සුගත් පලිහක්කාර පැවසුවේ, "මේ වෙලාවේ තවත් බොහෝ දෙනෙක් කලබලේ ශ්‍රී ලංකාවට යන්න උත්සහ කරනවා," යනුවෙනි.

"මේ වෙලාවේ කරන්න ඕනෙ ඉතාලි රජය හෝ අදාළ බලධාරීන් දෙන උපදෙස් පිළිපදින එක. කලබල වෙලා ලංකාවට යන එක කරන්න බැහැ. නැත්නම් අනවශ්‍ය කලබල ඇතිවෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

 

මුහුණු ආවරණ පැලඳි හෝලි උත්සව:

ඉන්දියාවේ හෝලි උත්සව සැමරුම්වලට බාධා එල්ල කිරීමට කොරෝනාවෛරසයට නොහැකි වී ඇති සෙයකි.

Coronavirus in Italy

චෙන්නායි නගරයේ පැවති හෝලි උත්සවයට මුහුණු ආවරණ පැලඳගත් පුද්ගලයන් සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

Coronavirus in Italy

 

ඉරාන-පාකිස්තාන දේශ සීමාවේ බැතිමතුන් 3,000 ක් පමණ නිරෝධායනයට:

කොරෝනාවෛරස් බිය හේතුවෙන් පාකිස්තානයේ ඉරාන දේශසීමාවේ පසුගිය සති දෙකක කාලය තුළ 3,000 ක පමණ පිරිසක් "නිරෝධායනය" කිරීමට පියවර ගෙන ඇත.

අපිරිසිදු තත්වයන් යටතේ ඔවුන් රඳවා සිටින බව පැමිණිලි කරමින් සමහරු විරෝධතාවක් ද පවත්වා තිබිණි.

නිරෝධායනය කළ පිරිස අතරින් බොහෝ දෙනෙකු ඉරානයේ සිට පා ගමනින් පැමිණි බැතිමතුන්ය.

ඉරානය සහ ඉරාකයට යන වන්දනාකරුවන් සඳහා ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යන අමීර් අලි සමඟ බීබීසී උර්දු සේවයේ අසාම් ඛාන් දුරකථනයෙන් සම්බන්ධ විය.

Coronavirus in Italy

අමීර් අලි කියා සිටියේ බැතිමතුන් ටෆ්තාන් හි කඳවුරක රඳවා සිටින නමුත් එහි නිවාස සහ ආහාර සඳහා නිසි විධිවිධාන නොමැති බවය.

 

චීන නායකයා වූහාන් සිට සැනසිලිදායක පණිවිඩයක් යවයි:

චීන ජනාධිපති ෂී ජින් පිං පසුගිය වසරේ අග භාගයේ දී වෛරසය පැතිරීම ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන වූහාන්හි අඟහරුවාදා (මාර්තු 10) සංචාරයක නිරත විණි.

ප්‍රදේශයේ රෝහල් වෙත ගිය ෂී ජින් පිං සෞඛ්‍ය නිලධාරීන්ට සුබ පැතුවේය.

වූහාන් වෙත යෑමෙන් චීන නායකයා බලාපොරොත්තු වූයේ චීනයේ තත්වය පාලනය කර ඇතැයි ලොවට පණිවිඩයක් දීමට බව විශ්ලේෂකයෝ පවසති.

අඟහරුවාදා දින (මාර්තු 10) චීනයෙන් අවම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා විය.

මේ වන විට චීනයේ ප්‍රධාන භූමියෙන් රෝගීන් 80,754 ක් වාර්තා වී ඇති අතර 3,136 දෙනෙකු මියගොස් තිබේ.

Coronavirus in Italyචීන ජනාධිපති ෂී ජින් පිං වූහාන් නගරයේ සංචාරයක

වෛරසය පැතිරී යෑම ආරම්භ වූ දා චීන නායකයා වූහාන්වල සිදු කළ පළමු සංචාරය මෙයයි.

 

චෙක් ජනරජයේ පාසල් වසා දැමේ:

දින නියමයක් නොමැතිව පාසල් වසා දමන බව චෙක් ජනරජය නිවේදනය කර ඇති අතර 100 කට වැඩි පිරිසකට සියලු උත්සව තහනම් කර තිබේ.

චෙක් ජනරජය තුළ මේ වන විට කොරෝනාවෛරස ආසාදිතයන් 40ක් වාර්තා වී තිබේ.

සිනමා, නාට්‍ය ශාලා, ක්‍රීඩා තරග සහ ආගමික උත්සව තහනම අඟහරුවාදා (මාර්තු 10) සිට බලපැවැත්වෙන බව එරට රජය පවසයි.

 

ඉරානයේ දිනක් ඇතුළත සිදු වූ වැඩිම මරණ ගණන:

කොරෝනාවෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ රටක් වන ඉරානයේ මරණ 54 ක් වාර්තා වී ඇති අතර, එය පැය 24ක කාලයක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාවය.

ඉරානයේ මෙතෙක් මියගිය සංඛ්‍යාව 291 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයන් 881කට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 8,042 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රියාවේ ගෘහස්ථ සහ එළිමහන් උත්සව තහනම්:

පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සහභාගි වන ගෘහස්ථ උත්සව සහ 500කට වැඩි පිරිසක් සහභාගි වන එළිමහන් උත්සව තහනම් කිරීමට ඔස්ට්‍රියානු රජය පියවර ගෙන තිබේ.

Coronavirus in Italy

ඉතාලියේ සිට ඔස්ට්‍රියාවට පුද්ගලයින් ඇතුළු වීම ද තහනම කර ඇත.

"වෛද්‍යවරුන්ගේ සහතිකයක් නොමැති නම් ඉතාලියේ සිට ඔස්ට්‍රියාවට එන අයට අපි ඇතුල්වීමේ තහනමක් පනවා තිබෙනවා,' යැයි ඔස්ට්‍රියානු අමාත්‍ය සෙබස්තියන් කර්ස් පැවසීය.

සති දෙකක නිවාස නිරෝධායන ක්‍රියාවලියකට එකඟ වන්නේ නම් ඉතාලියේ සිටින ඔස්ට්‍රියානුවන් නැවත සිය රටට පැමිණීමට අවසර දී තිබේ.

විශ්ව විද්‍යාල දේශන නැවැත්වීමට සහ සේවකයින්ට නිවසේ සිට රාජකාරියේ නිරත වීමට ඉඩ ලබා දෙන ලෙස රජය සමාගම්වලට දැනුම් දී තිබේ.

 

පෝලන්තයේ සියලු විශාල උත්සව අවලංගු කරයි:

කොරෝනාවෛරසය පැතිරී යෑම හේතුවෙන් විශාල උත්සව සියල්ල අවලංගු කිරීමට පෝලන්ත රජය තීරණය කර ඇති බව අගමැති Mateusz Morawiecki පවසයි.

එරට කොරෝනාවෛරස ආසාදිතයින් 17 දෙනෙකු සිටින බව පෝලන්ත සෞඛ්‍ය නිලධාරීන් තහවුරු කර ඇති අතර සමහර රෝගීහු බරපතල තත්ත්වයේ පසුවෙති.

දකුණු කොරියාව සති දෙකකට පසු අවම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරයි

දකුණු කොරියාවේ සති දෙකක කාලයකින් පසු අවම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Coronavirus in Italy

පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 131ක් පමණි.

වෛරසය පැතිරුණු ආගමික නිකායේ අනුගාමිකයන් 210,000 ක් සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂාවට ලක් කිරීමත් සමඟ දෛනිකව වාර්තා වුණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම වන ලකුණු පෙන්නුම් කර තිබේ.

කෙසේනමුත්, රට පුරා නව ආසාදන තත්වයන් හටගැනීමත් සමග සෞඛ්‍ය සේවා තවමත් දැඩි අවධානයෙන් සිටින බව බලධාරීහු පවසති.

සෝල් අගනුවර පිහිටි දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක සේවකයින් 38 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම ගොඩනැගිල්ලේ තවත් පුද්ගලයින් 207 දෙනෙකු තවමත් පරීක්ෂාවට ලක් කර නොමැති අතර, ආසාදිතයන් සංඛ්‍යාව පසුව ඉහළ යෑමට ඉඩ තිබේ.

දකුණු කොරියාවේ රෝගීන් 7,513ක් වාර්තා වී තිබේ.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්