The Leader News
BREAKING
Top Ad
පුවත්

තිස් නම අවුරුද්දක් තිස්සේ යුක්තිය අහිමි මරාදැමූ 230ක් සැමරේ

T

The Leader Desk

February 1, 2026 • 4:27 AM

තිස් නම අවුරුද්දක් තිස්සේ යුක්තිය අහිමි මරාදැමූ 230ක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝාතනයට ලක් වු දෙසිය තිහකගේ නම් සදහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මයිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී 2026 ජනවාරි 28 වැනි බදාදා එම අනුස්මරණ පැවැති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • ශ්‍රී නේෂන් එහිදී මාධ්‍ය වෙත පවසා තිබුනේ මෙම සමුහ ඝාතනය සිදු කළේ කවුරුන්දැයි ඉතාම පැහැදිලි කරුණක් වන අතර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ හෝ වින්දිතයන්ට යුක්තිය ඉටු වෙතැයි බලාපොරොත්තු වන බවයි.
  • ඝාතනයට ලක් වූ අය අහිංසකයි, ඝාතකයන් හමුදා විශේෂ බලකායන් බව පැහැදිලි කරුණක්.
  • ලේ වැකි 1987 ජනවාරිය මඩකලපු දිස්ත්‍රික්කයේ, කොක්කඩිචෝලේ ගම්පියස ගොවිතැන, ධීවර කර්මාන්තය හා ඉස්සන් ඇතිකිරීම තම ජීවනෝපාය කරගත් ජනතාවගේ වාසභූමියකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඝාතනයට ලක් වු දෙසිය තිහකගේ නම් සදහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මයිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී 2026 ජනවාරි 28 වැනි බදාදා එම අනුස්මරණ පැවැති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 sg02

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ශ්‍රී නේෂන් එහිදී මාධ්‍ය වෙත පවසා තිබුනේ මෙම සමුහ ඝාතනය සිදු කළේ කවුරුන්දැයි ඉතාම පැහැදිලි කරුණක් වන අතර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ හෝ වින්දිතයන්ට යුක්තිය ඉටු වෙතැයි බලාපොරොත්තු වන බවයි.

 sg04

 

“ආණ්ඩු කීයක් වෙනස් වෙලාද?  කවුරු ජනාධිපති වුණත් යුක්තිය වෙනුවෙන් ඇස් ඇරලා නැහැ. දැන් අන්තිමට අනුර කුමාර දිසානායක ඇවිල්ලා තියනවා. අපි බොහෝ සෙයින් බලාපොරොත්තු වෙනවා ඔහුගේ කාලය තුළවත් වින්දිතයින්ට යුක්තිය ඉටු වෙයි කියලා. ඝාතනයට ලක් වූ අය අහිංසකයි, ඝාතකයන් හමුදා විශේෂ බලකායන් බව පැහැදිලි කරුණක්. ඒ කාලේ මෙහෙ වැඩට ආවේ කවුද, මේකට වගකිව යුත්තේ කවුද කියලා ආණ්ඩුව හොඳටම දන්නවා. ඒ නිසා නීතියේ ආධිපත්‍යයක් සහ සමානාත්මතාවයක් තියෙනවා කියලා කියනවානම්, මේ ඝාතනයට ලක් වූ අයට යුක්තිය ඉටු කළ යුතුයි.”

ජී. ශ්‍රී නේෂන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ගේ සහභාගීත්වයෙනි පැවති සමරුවට ඝාතනයට ලක්වුවන්ගේ ඥාතීන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

 

sg01
ලේ වැකි 1987 ජනවාරිය

මඩකලපු දිස්ත්‍රික්කයේ, කොක්කඩිචෝලේ ගම්පියස ගොවිතැන, ධීවර කර්මාන්තය හා ඉස්සන් ඇතිකිරීම තම ජීවනෝපාය කරගත් ජනතාවගේ වාසභූමියකි.

ප්‍රදේශවාසීන් පවසන පරිදි 1987 වසරේ ජනවාරි 29 වැනිදායින් ඇරඹී දින තුනක් පුරා තම ගමට එල්ල වූ ලංකාණ්ඩුවේ හමුදාවන්ගේ, තෙරක් නැති ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමට ගම්වාසීන්ට සිදුව තිබේ.

අනතුරුව කොන්ඩවට්ටුවාන්, කළුවන්චිකුඩි, වෙල්ලවේලි හා කල්ලඩි කදවුරු වලින් පැමිණි හමුදාවන් ට්‍රක්රථ හා හෙලිකොප්ටර් යානා යොදාගෙන ගමට ඇතුල් වී ඇත.

ඔවුන් වයස අවුරුදු 14 සිට 40 දක්වා වූ ගම් වැසියන් පැහැරගනු ලැබූ අතර ඉන් වැඩි පිරිසක් ඝාතනය කළ කළ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

කොක්කඩිචෝලේ මහිලඩිත්තිව් හි ඉස්සන් ගොවිපල ක්‍රියාත්මක වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර යටතේය.

 

කම්කරුවන් විශාල පිරිසක් එහි රැකියාවේ නිරතව වී තිබෙන අතර 1987 ජනවාරි 28 දා ඝාතනයට ලක්වුවන් අතර මෙම ඉස්සන් ගොවිපලේ සේවය කළ කම්කරුවෝ ද වෙති. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කොක්කඩිචෝලේ පිහිටි සහල් මෝලේ රැකවරණය ලැබූ 24 දෙනකුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළ බවයි. එසේ ඝාතනයට ලක්වූවන් අතරින් 12 දෙනකු 12 වැනි වියේ පසුවුවන් ය.

 

සෙල්ලතුරෙයි රවිනාදන් 1987 වසර වන විට මේ ඉස්සන් ගොවිපලේ ආරක්ෂක රාජකාරියේ නිරත වු අයෙකි.

සමූලඝාතනය සිදුවූ දිනයේ රවිනාදන් නිරතව ඇත්තේ දිවා සේවාමුරයේ ය. සිද්ධිය පිළිබඳ සිය අත්දැකීම් ඔහු එවකට මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ මෙසේය.

“මම උදේ පාන්දරින්ම වැඩට ගියා. වෙනදාට වඩා නැතිව එදා උදෙන්ම හෙලිකොප්ටර් දෙක තුනක් අහසේ රවුම් ගහන්නට වුනා. මට හිතුනා මොකක් නමුත් අමුත්තක් වෙන්න යනවා කියලා. මම තවත් මිනිසුන් ගොඩක් එක්ක ඉස්සො ගොවිපලට දුවල ගියා. ඉස්සෝ ගොවිපලේ සුද්දන්ගේ අයිතියත් තියෙන නිසා එතැන දී අපිව ආරක්ෂිතය කියල අපි ඔක්කෝටම විස්වාසයක් තිබුණා. මීට ඉස්සෙල්ලත් අපව අල්ලාගෙන දෙපාරක දී ම ප්‍රශ්න කළත් හමුදාව අපට යන්න ඉඩ හැරියා. එතනින් ආරක්ෂාවක් ලැබේවිය කියන බලාපොරොත්තුව හින්දා අපි එහෙට දුවල ගියා. එතැන හංදියේ විශාල හමුදා වාහනයක් තිබුණා. හමුදාව වාහනයෙන් එලියට පැනගෙන පාරට ආවා. මේ තමා අපි පලමු වතාවට දැනගත්තේ STF එකේ පෙනුම කොයි වගේ ද කියලා. පාරට පැමින සිටි හමුදාවේ හැමෝම තමන්ගේ තුවක්කු ඉස්සෝ ගොවිපල දිසාවට එල්ල කළා. එක් පුද්ගලයෙක් තුවක්කුව එල්ල කරගෙන අපේ දිහාට ආවා. මේක දැකපු අපිත් එක්ක හිටපු දෙතුන් දෙනෙක් පහලට නැමිලා වතුරපාර දිගේ හෙමින් අනෙක් පැත්තට ගියා.”

සෙල්ලතුරෙයි රවිනාදන් විස්තර කරන පරිදි එතැන හිටි මුතලයිකුඩා, මුනායිකාඩු, මහිලඩිත්තිව් සහ අම්බලන්තුරෙයි යන ගම් වල පිරිස් හමුදා ග්‍රහනයට ලක් ව තිබේ.

ඔහු සිය අත්දැකීම තව දුරටත් විස්තර කර ඇත්තේ පහත අයුරිනි.

"අපි හිටපු තැනට හමුදාවේ තුන්දෙනෙක් ආවා. ඔවුන් කෑ ගසා කිවා අපි හැමෝටම එක තැනකට එකතු වෙන්න කියලා. හැමෝම බියෙන් වෙව්ලමින් සිටියේ. එවේලේ, ඔවුන් තුවක්කුවෙන් වෙඩිල්ලක් තිබ්බා. එතකොට හැමෝම එතැනින් අහකට දිව්වා. මම ලග තිබ්බ ඉස්සන් ගොවිපලේ පුංචි පැලකට මුවා වුනා. අපිට කලින් දේවනායගම් කියන පිරිමි ළමයා දුවල ගියා. අපිට එකපාරටම වෙඩි තියනවා ඇහුනා. අපි දන්නේ නෑ ඔහුට සිද්ද වුනේ මොකද්ද කියලා. මම වහාම ලග තිබුන පුංචි ගහට මුවා වුනා. මගේ ඉස්සරහපිටම නේසතුරෙයි කියන පිරිමි ළමයත් ඒ දේම කළා."

සෙල්ලතුරෙයි රවිනාදන් පවසන්නේ මේ අතරතුර හමුදාව දුවමින් සිටි ජනතාව දිසාවට වෙඩි තැබීමට පටන් ගත් බවයි.

 

"කුඩා කුරුල්ලන්ව පන්නා දමන්න ඉස්සන් ගොවිපොළේ සිටි කුඩා දරුවන්ට ඔවුන් වෙඩි තිබ්බා. මේ දුප්පත් ළමයි උදේ පාන්දරම ගොවිපලට එන්නේ එහි ඇති කරන ඉස්සන් ට කිසිම කුරුල්ලෙක් පහර දුන්නේ නැතිය කියල සැක හැර බලාගන්නයි. එකෙන් මේ ළමයි බලාපොරොත්තු වෙන්නේ කොච්චර පුංචි උනත් මේ වැඩේ වෙනුවෙන් ලැබෙන මුදල බලාගෙනයි. ඒ වගේ දුප්පත් පොඩි දරුවන්ට ඔවුන් වෙඩි තැබුවේ මොන හිතකින් ද?

 

සිය ජීවිතය බේරා ගැනීම සදහා තමන් ගත් ක්‍රියාමාර්ගත් සෙල්ලතුරෙයි රවිනාදන් විස්තර කරන්නේ මේ අයුරිනි.

"ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා දාලා මම පොඩි කැලේ අස්සෙන් දුවල ගියා. මම දුවල යන අතරේ මට ඇහුනා තුවක්කු පත්තුවෙන සද්දේ. ඉන් ටික වේලාවකට පස්සේ මට ඉස්සන් ගොවිපල පැත්තෙන් කිසිම සද්දයක් ඇහුනේ නෑ. මම හිතුවේ මම ආපසු යන්න ඕනේ. ගිහින් වෙලා තිබෙන්නේ මොකද්ද කියලා බලා ගන්න ඕනේ කියලා . මම ඒක කරන්න යනකොට, එක වයසක මිනිසෙක් මාව නැවැත්තුවා, ”මනුස්සයෝ, කරුණාකරලා ආපහු යන්න එපා උන් ඒ හැමෝටම වෙඩි තියල ඉවරයි.”

සෙල්ලතුරෙයි රවිනාදන් පවසන පරිදි මේ සමුලඝාතනය සියැසින් දුටු ඔහුගේ වැඩිමල් සහෝදරයා, දවස් තුන හතරක් යනකල්ම සිට ඇත්තේ කිසිම සිහි කල්පනාවකින් තොරවය.

කොක්කඩිචෝලේ සිදු කළ පළමු සමුහ ඝාතනයෙන් පස් වසරක් සපිරෙන්නටත් මත්තෙන් යළිත් වරක් රජයේ ආරක්ෂක අංශ විසින් එම ග්‍රාමයේ 1991 වසරේදී සමුහ ඝාතනයක් සිදු කර තිබේ.

 

ගම්වැසියන් පවසන්නේ 1991 ජූනි 12 වැනිදා හමුදාව කොක්කඩිචෝලේ සහල් ඇඹරුම් මෝලකට ඇතුළු වී එහි සේවයේ නියුතුව සිටි කම්කරුවන් 17 දෙනා මරා දමමින් සහල් මෝල ගිනිබත් කළ රජයේ ආරක්ෂක හමුදාව එදිනම අවට නිවාස 400 කටද හානි සිදු කර තිබෙන බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...