නුදුරේදීම විශේෂ ගුවන් යානාවක් ඇමෙරිකාවෙන් මෙරටට ලබා දීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.


ඒ, ශ්‍රී ලංකාව අවට මුහුදේ ආවේක්ෂණ කටයුතු සඳහා ය.

ඉන්දියන් සාගරයේ භූ ගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව ගැන ලෝකයේ අවධානය යොමු වන්නේ ඈත අතීතයේ සිටය.

එම පිහිටීම නිසා දූපත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නාවුක ගමන් මාර්ගයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිවන්නේ නිතැතිනි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සහ ගුවන් කලාපය රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ලෙස සැලකෙයි.

ඇමෙරිකාවෙන් ලංකාවට පැමිණි ඔත්තු බැලීමේ යානය කුමක් ද?

ගුවනේ සිට සමුද්‍රීය නිරීක්ෂණ කිරීමේ හැකියාව සහිත ඇමෙරිකානු ආරක්ෂක අංශ වලට අයත් ආවේක්ෂණ ගුවන් යානයක් ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

එලෙස පැමිණි ගුවන් යානය චැලෙන්ජර් 605 වර්ගයේ නිරීක්ෂණ යානයක් වන අතර එය ‍ගුවනේ සිට ආවේක්ෂණ කටයුතු සඳහා යොදා ගනු ලැබේ.

බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසුවේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙරට ත්‍රිවිධ හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා එම ගුවන් යානය මෙරටට පැමිණි බවයි.

"අපේ ගුවන් හමුදා නියමුවන් වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු කිරීම සඳහායි මෙම ගුවන් යානය මෙරටට පැමිණියේ. එම ගුවන් යානය සමග නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ලංකාවට පැමිණියා." ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම පුහුණු කටයුතු කොළඹ, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක කළ බවයි.

 

force 4

ගුවනේ සිට සමුද්‍රීය නිරීක්ෂණ කිරීමේ හැකියාව සහිත ඇමෙරිකානු ආරක්ෂක අංශ වලට අයත් ආවේක්ෂණ ගුවන් යානයක් ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

 

ඇමෙරිකාවෙන් ලංකාවට ලබා දෙන ගුවන් යානය කුමක් ද?

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ලබා දීමට නියමිත බවය.

 

"අපිට ඇත්තටම ඇමෙරිකාවෙන් සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු වලට ගුවන් යානයක් ලබා දෙනවා."

"ඒක Beech King Air 360er වර්ගයේ ගුවන් යානයක්. මේක අලුත්ම ගුවන් යානයක් ඇමෙරිකාවේ රජයෙන් ලැබෙන. එම ගුවන් යානය මේ වසරේ ජුනි හෝ ජුලි මාසය වන විට ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.”

"ඒ ගුවන් යානයේ සවි කර තිබෙන උපකරණ වලට මෙහෙ ඉන්න අපේ ගුවන් නියමුවන් වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ට පුහුණුවක් ලබා දෙන්න තමා ඇමෙරිකානු කණ්ඩායමක් ලංකාවට පැමිණියේ."

"ඒම ගුවන් යානයේ සහ අපට ලැබෙන ගුවන් යානයේ සවිකර තිබෙන උපකරණ ඔක්කොම එක සමානයි."

"අලුත් ගුවන් යානයක් දුන්නට අපේ ඔක්කොම අයට පුහුණුවීම් කරන්න ප්‍රතිපාදන නැති නිසා ඊට කලින් අපේ අයට පුහුණුවීම් ලබා දෙන්න ඒ අය පැමිණියේ."

"ගුවන් නියමුවන්, තාක්ෂණික නිලධාරීන් වගේම ආවේක්ෂණ කටයුතු කරන නිලධාරින් එම පුහුණුවට අයත්" ඔහු කියා සිටියේය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් දස දෙනෙකු පමණ අප්‍රේල්, මැයි සහ ජුනි මාසයේදී පුහුණුවීම් සඳහා ඇමෙරිකාව බලා යාමට නියමිත බවය.

නව ආවේක්ෂණ ගුවන් යානයේ ඇති විශේෂතා මොනවාද ?


ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයේ අඩංගු විශේෂ පහසුකම් මොනවාදැයි බීබීසී සිංහල සේවය විසින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කරන ලදී.

ඊට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"ගුවනේ සිට මුහුදේ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට හැකියාව සහ ඊට අවශ්‍ය උපකරණ මේ යානයේ තියෙනවා."

"උදාහරණයක් විදිහට මේ ගුවන් යානයට පුළුවන් මුහුදේ බෝට්ටු දාහක් තියෙනවා කියලා. ඒ බෝට්ටුවල හැසිරීම ගැන නිරීක්ෂණය කරන්න හැකියාව."

"ඒ වගේම මේ ගුවන් යානයේ තිබෙනවා Forward Looking Infrared කැමරාවක්. මේකට අපි FLIR කැමරා කියලත් කියනවා. ඒකෙන් අපිට තාප තරංග හඳුනා ගන්න පුළුවන්. ඒවායෙන් අපි දත්ත ලබාගන්නවා."

"යම් කිසි ධීවර යාත්‍රාවක් මසුන් අල්ලන්න ගියානම් අපි ඒ මුහුදු ප්‍රදේශය නිරීක්ෂණය කළාම හඳුනාගන්න හැකියාව තියෙනවා ඒ ධිවර යාත්‍රා සංඛ්‍යාව."

"එතකොට සැකකටයුතු ධීවර යාත්‍රා එනවානම් ඒ ධීවර යාත්‍රා අසලට අපට ඒවා හඳුනාගන්න හැකියාව ලැබෙනවා."

"ඒ වගේම ධීවර යාත්‍රා මුහුදු සීමාවන් උල්ලංඝණය කරනවාද කියා අපට නිරීක්ෂණය කරන්න පුළුවන්." ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 350ක් දක්වා වූ දුරක් දක්වා විහිදෙන මුහුදු කලාපය ශ්‍රී ලංකාවට අයත් බව මෙහිදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්