ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ

මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය පියුමි විජේසේකර ට අවස්ථාව හිමිව ඇත.

පසුගියදා එම ආදර්ශ මෙහෙයුමට සහභාගී වන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නාසා ආයතනය ප්‍රකාශයට පත් කළ අතර එම කණ්ඩායමට ආචාර්ය පියුමි විජේසේකර සමඟ ජේසන් ලී, ස්ටෙෆනි නවාරෝ සහ ෂරීෆ් අල් රොමේති ඇතුළත් වූහ. ආදර්ශ මෙහෙයුමට සහභාගී වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස අතරින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නාසා ආයතනය තෝරා ගත්තේය.

ආචාර්ය විජේසේකර සහ ඇයගේ කණ්ඩායම අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමට සහභාගී වීම සඳහා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි ආදර්ශ ගවේෂණ මෙහෙයුම් සඳහාම නිර්මාණය කරන ලද හේරා නමින් හැඳින්වෙන මහල් තුනකින් යුත් ආකෘතියට මැයි මස 10 වැනිදා ඇතුළු වීමට නියමිත අතර ගගනගාමින් ලෙස ජීවත් වෙමින් සහ වැඩ කරමින් දින 45 ක කාලයක් හේරා තුළ සිටීමට නියමිතව ඇත.

ලබන ජූනි 24 වැනිදා ආචාර්ය පියුමි විජේසේකර සිය කණ්ඩායම සමඟ හේරා ආකෘතියෙන් පිටතට පැමිණීමට නියමිතය.

චන්ද්‍රයාට, අඟහරු ලෝකයට සහ ඉන් ඔබ්බට ගවේෂණ කටයුතු සඳහා ගගනගාමීන් යැවීමට ප්‍රථම එහි පරිසරයට ඔවුන් හුරු කිරීම සඳහා නාසා ආයතනය හේරා ආකෘතිය භාවිත කරනු ලබයි. එම ආදර්ශ අඟහරු ගවේෂණ මෙහෙයුමේදී පියුමි විජේසේකරගේ කණ්ඩායම විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත අතර අතත්‍ය තාක්ෂණය භාවිත අඟහරු ලෝකය මත ඇවිදීමටද නියමිතය.

ආචාර්ය පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ නාසා ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියකි. ඇය 2015 වසරේදී ඇමෙරිකාවේ සැන් ඩියේගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගෙන ඇති අතර පිට්ස්බර්ග් හි කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 2017 වසරේද ආචාර්ය උපාධිය 2022 වසරේද ලබාගෙන ඇත.

පියුමි විජේසේකර ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ජීවත් වන අතර ඇය සංගීත සංදර්ශන වලට සහ ප්‍රසංගවලට සහභාගී වීමට ප්‍රිය කරන්නියක වන අතර පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමටද ප්‍රිය කරන්නීය. ඇය කියවීමට, කඳු නැගීමට සහ ආහාර පැන්ට්‍රියේ ස්වේච්ඡාවෙන් සේවය කිරීමටද ප්‍රිය කරයි.


(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු) 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්