ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක්

සෑදීමට කරන ලද ඉල්ලීමට ආණ්ඩුව එකඟ නොවීම බව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබේ.

එම හේතුව නිසාවෙන් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත  කිරීම ප්‍රමාද වෙමින් පවතින බව එස්. එම්. මරික්කාර් මාධ්‍ය වෙත ඊයේ (18) කියා සිටියේය.

"රජය IMF වාරිකය පිළිබඳ නොයෙකුත් කතා කියනවා. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවයන්ට ආවා කියලා කියනවා. නමුත් IMF දෙවැනි වාරිකය තවමත් ප්‍රමාද වෙනවා. අපට ආරංචි විදිහට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාත අඩු කරන්න එකඟ වෙලා මේ ආණ්ඩුවට කොන්දේසි දාලා තියෙනවා. ප්‍රධාන කොන්දේසි දෙකක්. එකක් තමයි දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා. ආණ්ඩුව මේකට එකඟ නොවීම නිසා තමයි දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත  කිරීම ප්‍රමාද වෙමින් පවතින්නේ. අපි ආණ්ඩුවෙන් අහනවා ඇයි මේ දූෂණය පිටුදැකීම සඳහා ස්ථිරසාර ක්‍රමවත් වැඩ පිළිවෙලක් ගේන එකට බයවෙන්නේ ඇයි කියලා.”

වර්තමාන ආණ්ඩුවක් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම අන්ත දූෂිත බවට චෝදනා කළ මන්ත්‍රීවරයා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ගේ කොන්දේසිවලට එකඟතාවය නොදැක්වීමෙන් IMF වාරිකය ලැබීම ප්‍රමාද වන බව සඳහන් කළේය.

 

දූෂණ විරෝධී ක්‍රියාවලිය වේගවත් කළහොත් ආයෝජකයෝ විශ්වාසය වැඩි වී ඔවුන් පැමිණෙන බවත් එවිට රටේ සම්පත් හා දේපළ විකුණා ආදයම් හෙවීමේ අවශ්‍යතාවය නැති බව ද එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසිය.

 

“මේ මොහොත වෙනකම් මේ අවුරුද්දට හෝ ගිය අවුරුද්දට සෘජු විදේශ ආයෝජන සත පහක්වත් ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියන 1.8ක් අත්සන් කළා කිව්වට එක රුපියලක්වත් ඇවිල්ලා නෑ. සෘජු විදේශ ආයෝජන නැතුව අපිට දියුණු වෙන්න බැහැ.”

සෘජු විදෙස් ආයෝජන වැඩි කර ගැනීමට දූෂණය නාස්තිය පිටු දකින ස්ථිර ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ආණ්ඩුව එසේ නොකිරීමෙන් පැහැදිලි වන්නේ දූෂණ විරෝධයට අනුකූලතාවයක් නොදක්වන බව යැයි එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්