ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් කටයුතු කරන රාජ්‍ය නායකයකු පත්කරගැනීමට පවත්වනු ලබන්නක් ලෙස ඉදිරි

ජනාධිපතිවරණය හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනකු නායකත්වය දරන දේශපාලන පක්ෂයක්, එම මැතිවරණය වර්ජනය කරන ලෙස උතුරු නැගෙනහිර දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටී.  

දෙමළ ජාතික ජනතා පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ පෙඩරල් ව්‍යුහයක් ඉල්ලා සිටින දෙමළ ජනතාව එවැනි රාජ්‍ය නායකත්වයක් කිසිවිටෙක පිළිනොගන්නා බවට වන පනිවිඩය ලබා දිය හැකි, දැනට ඉතිරිව ඇති එකම විකල්පය ජනාධිපතිවරණය වර්ජනය කිරීම බවයි.

 

“ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළ බහුතර නියෝජනය තමන්ගේ අත පවතින තාක් කල් දෙමළ ජනයාට රජයට කිසිදු බලපෑමක් ඇති කළ නොහැකි බව විශ්වාස කරන ශ්‍රී ලංකා රජය, දෙමළ ජනතාව තම ජනතාව ලෙස නොව, සතුරන් ලෙස සළකා සිංහල දේශයේ අවශ්‍යතාව පමණක් වෙනුවෙන් වැඩ කරමින් සිටී. එවැනි රාජ්‍ය නායකත්වයක් දෙමළ ජනතාව කිසිවිටෙක පිළිනොගන්නා බවට අපෙක්ෂා කරන පනිවිඩට ලබා දීමට නම් දෙමළ ජනතාවට ඉතිරිව ඇති එකම විකල්පය ජනාධිපතිවරණය වර්ජනය කිරීමයි.”

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව මීළඟ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර දිනයක පැවැත්වීමට නියමිත  බව ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ලේකම් ධුරය යටතේ ක්‍රියාත්මක වන, දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නිකුත් කළ  නිවේදනය අවධාරණය කරන්නේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසයක් නොමැති බව පෙන්වා දීමෙන් තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් දෙමළ ජනයා සිදු කරන අරගලයේ ශක්තිමත් භාවය ඒත්තු ගැන්විය හැකි බවයි.

“දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසයක් නොමැති බවත්, දෙමළ ජනතාව ජාතිවාදී ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බවට පණිවිඩය ලබා දීමෙන්, දෙමළ ජනතාව තම අයිතිවාසිකම් ගමනේ අධිෂ්ඨානශීලීව සිටින බව අවධාරණය කළ හැකිය.''

 

මර්දනයට බියෙන් දෙමළ ජනතාව කිසිවිටෙකත් තම අයිතිවාසිකම් අත්නොහරින බව සන්නිවේදනය කිරීමේ එකම මාර්ගය ලෙසද දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය වර්ජනය කිරීමය.

 

“ ශ්‍රී ලංකා රජයේ  දැවැන්ත බලපෑම් සහ මර්දනය දිගින් දිගටම සිදුවෙමින් තිබියදීත්, දෙමළ ජනතාව තවමත් සිය අයිතීන් වෙනුවෙන් සටන් කරන බවත්, මර්දනයට බියෙන් දෙමළ ජනතාව කිසිවිටෙකත් තම අයිතිවාසිකම් අත්නොහරින බවට පණිවිඩය ලබාදිය හැකි එකම මාර්ගය ජනාධිපතිවරණය වර්ජනය කිරීමය.”

දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නිකුත් කළ පිටු හතරකින් සමන්විත නිවේදනය මගින් තව දුරටත් අවධාරණය කර ඇත්තේ මෙම ජනාධිපතිවරණය ප්‍රතික්ෂේප කරන දෙමළ ජනයා ඒකීය ව්‍යවස්ථාව වෙනුවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බවයි.

“ඒකීය ව්‍යවස්ථාව වෙනුවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුය යන දැඩි ස්ථාවරය සිටිමින් දෙමළ ජනතාව සමගියෙන් ගෙන යන මෙම ජනාධිපතිවරණය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇති වන දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් දෙමළ ජාතිකයන්ට ශක්තියක් බව තේරුම් ගෙන ක්‍රියා කළ යුතු බව අපගේ ස්ථාවරයයි.”

ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවගේ ඡන්දය නොමැතිව කිසිදු අපේක්ෂකයකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි නමුත් කිසිදු ජනාධිපති අපේක්ෂකයකු දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් කිරීමට සුදානම් නොමැති වීම යතාර්ථය බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණ සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

 

කෙසේ වෙතත්, දෙවසරකින් බලයෙන් පහකරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්ද ලබාගත් ජනාධිපතිවරයා වෙමින් ප්‍රකාශ කර තිබුනේ සිංහල බෞද්ධ ඡන්දයෙන් පමණක් රාජ්‍ය නායකයා වීමේ හැකියාවක් ඇතැයි එමගින් ඔප්පු වූ බවය.

 

දෙමළ පොදු අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට ඇතැම් දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන්ද උතුරේ ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ නිශ්චිත තිරණයකට මේතාක් එළඹ නැති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

දෙමළ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාවේ එකගතාවයක් නොලැබුන නමුත් එය පක්ෂයේ අවසන් තීරණය නොවන අතර පක්ෂය දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් කැදවා මෙම යෝජනාව පිළිබද විමසා අවසන් තිරණයකට එළඹෙනු ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් පැවසුවේයැයි දකුණේ සිංහල බසින් පළ වන පුවත්පත් වාර්තාවල දැක්වේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්