පුරවැසියන්ගේ දේපල තොරතුරු ලබාදීමේ ගැසට් පත්‍රය නව නීති පැනවීමක් නොවේ යැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

ප්‍රකාශ කළේය.

අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොකළ ද බදු පැහැර හරින්නන් හදුනාගැනීම එහි අපේක්ෂාව බවද ඔහු කියා සිටියේය.

පුරවැසියන්ගේ චංචල හා නිශ්චල දේපල පිලිබඳ විස්තර ලබන ජුලි පළමු වැනිදා සිට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු වන බවට ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළද , එය නව නීති පැනවීමක් නොවන බවත්, ආදායම් බදු නීතියේ 123 ( 8 ) වගන්තිය අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට තෙවන පාර්ශවයකින් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරිමක් පමණක් මෙමගින් සිදුවන බවද ඔහු කීය.

 

එමෙන්ම මෙම නීති රීති කිසි විටෙකත් අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොකරන බවද කී ඇමැතිවරයා නව  චක්‍රලේඛය මගින් සිදුවන්නේ අක්‍රියව පැවති නීතියක් යළි ක්‍රියාත්මක කිරීම බවත්, ඒ අනුව පසුගිය මාර්තු 21 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම පිළිබඳ නිවේදනය මැයි මස 21 වන දින දේශිය ආදායම් කොමසාරිස් වරිය විසින් නිකුත් කළ බවද පැවසීය.

ඒ අනුව ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍යයෙන් ආදායම් පිළිබඳව කටයුතු සිදුවන ආයතන වන ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, කොටස් වෙළඳපල, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී ආයතන තමන්ගේ එදිනෙදා සිදුවන ගනුදෙනු පිළිබඳව තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවට දැනුම් දිය යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.


ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම ලබන රටක් බවට පත් වී ගැඹුරු ප්‍රපාතයනට වැටීමට මෙවැනි නීති මෙතෙක් ක්‍රියාත්මක නොවීම බලපෑ බව සඳහන් කළ අමාත්‍යවරයා එසේම අපේ රටේ බදු ආදායමෙන් 20% ක් සෘජු බදු වී සමස්ථ සමාජයේ සාමාන්‍ය පුංචි මිනිසාට පවා පැනවෙන වක්‍ර බදු ප්‍රමාණය 80 % ක් බවට පත්වීමටත් මෙම කරුණු බලපෑ බවද ඇමැතිවරයා කියා සිටියේය.

සමාජය පීඩාවට පත්ව සිටින මොහොතක අතීතයට ගොස් තොරතුරු සොයා බලා මෙම නීතී ක්‍රියාත්මක කර ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත්, ආදායම් බදු ගෙවිය යුතු එහෙත් විවිධ උපක්‍රම යොදා ඒවා නොගෙවා සිටින අයගෙන් නිසි පරිදි බදු අයකර ගැනීමත් මෙමගින් අපේක්ෂා කරන බවද ඔහු කීය.

(ජේ. මුණසිංහ)

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්