කොළඹ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑ මූලික හේතු විමර්ශනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ඇතුළු අදාළ බලධාරීන්ගෙන් වාර්තා ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් වෙත පවරා ඇත. 

එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අදාළ නිර්දේශ ද මේ සමඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

තවද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් නිර්මාණය කිරීම, කොළොන්නාව නගරය ප්‍රතිසංවිධානය කිරීම සහ ඉඩම් පරිහරණය ප්‍රශස්ත කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇත.

 

කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතික අනුමැතිය හිමිව ඇත. 

 

අධික වර්ෂාව හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (3) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර එහිදී ප්‍රදේශවාසී ජනතාව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති ජනතාවට ආහාර පාන සැපයීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සලසා දීම, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර තත්වයන්ට හේතු වී ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීම, ඉඩම් ගොඩ කිරීමේ කටයුතු නැවැත්වීම සහ ප්‍රදේශයේ කානු පද්ධතිය පිළිසකර කිරීම ඇතුළු අනෙකුත් අදාළ පියවර ගැනීම, එම ප්‍රදේශයේ ගංවතුර තත්වයන් ඇතිවීම සඳහා බලපා ඇති මූල හේතූන් හඳුනාගෙන ඉදිරියේදී එවැනි තත්ත්වයක් නැවත ඇති නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් උපරිම ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොලොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාල අනෙකුත්  ආයතනවල නියෝජනයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

මේ අතර කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි කළ සංචාරයේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDH රෝහල වෙනත් ස්ථාන‍යකට ගෙන යාමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 

 

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ  (03) පෙරවරුවේ කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර අනතුරුව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් මෙම උපදෙස් ලබා දී ඇත. 


මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ ප්‍රේමනාත් .සී. දොළවත්ත, එස්.එම්.මරික්කාර්, ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති වෘත්තීය සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

kolonnawa 1kolonnawa 2kolonnawa 3kolonnawa 4


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්