මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත

ඉදිරිපත් කර ඇති අතර, පනත සදහා ඇතුළත් කිරීමට නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (04) පස්වරුවේ පැවැත්විණි.

වනාන්තරවල ඇති ඖෂධ වර්ග ආදිවාසී ජනතාව විසින් නෙලා ගැනීමේදී එම ඖෂධ ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුව විසින් රෙගුලාසි පද්ධතියක් සකස් කරමින් පවතින අතර, ඒ පිළිබදව තවදුරටත් අධ්‍යනය කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාවට වනාන්තරවල ඖෂධ වර්ග නෙලීමේදී නව රෙගුලාසී පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට මෙහිදී තීරණය වු අතර, සති තුනක් තුළ අදාල රෙගුලාසි පිළිබදව නිර්ණායක ලබාදීමට නියමිතව ඇත.

අදාල ඖෂධ වර්ග නිශ්චිතව නම් කර ඇති අතර, ඖෂධ වර්ග නෙලීම සිදු කළ හැකි ආදිවාසී ජනතාව පිළිබදව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසර පත්‍රයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

“ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය සදහා ඉදිරිපත් කර තිබෙනවා. එය සම්මත කිරීම සිදු කිරීමත් ඔවුන් වෙනුවෙන් සකස් කරනු ලබන රෙගුලාසි පද්ධතිය නිතීගත කිරීමත් දෙකම එකවර සිදු කිරීමට නියමිතයි.” අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙහිදී පැවසීය.

 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව සකසා ඇති මෙම පනත ආදිවාසී ජනතාව පිළිබදව මානුෂිය ආකාරයෙන් සලකා බලා නව පනත් කෙටුම්පත සම්මත කිරීම කඩිනමින් පියවර ගැනීම සියලු දෙනා සතු වගකීමක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ප්‍රාදේශිය වශයෙන් ජීවත්වන ආදිවාසී ජනතාව පිළිබදව අවධානය යොමු කරමින් ඔවුන් ජීවත් වන ප්‍රදේශ නිශ්චිතව හදුනා ගෙන  ප්‍රාදේශියව වනාන්තර ආශ්‍රිතව තම ජීවිකාව කර ගෙන යාම සදහා ඔවුන්ට පහසුකම් සැලසීමට කටයුතු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තුව යටතේ පවතින වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාව සදහා ඖෂධ නෙලීම වෙනුවෙන් නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබේ.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් මෙහිදී ඉල්ලා ඇත්තේ තම ජනතාව පිළිබදව සලකා බලා කඩිනමින් පනත් කෙටුම්පත සම්මත කිරීමට කටුයුතු කරන ලෙසයි.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර, නිතිපති දෙපාර්තමේන්තුව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවි දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

vedda 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්