ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී විමට් නියමිතය.

ජනාධිපතිවරයා එම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනයකට අනුවයි.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කළේය.

එම සංවාදය අතරතුර අගමැති මෝදි සිය දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති වික්‍රමසිංහට ආරාධනා කර ඇති අතර ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගෙන තිබේ.

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහුගේ නව කැබිනට් මණ්ඩලය ද එහිදී දිවුරුම් දීමට නියමිතය.

මෝදී ගේ නායකත්වයෙන් යුතු සන්ධානය ආසන 543ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 293ක් දිනාගෙන තිබුණි. ඉන් ආසන 240ක් ම දිනාගෙන ඇත්තේ මෝදී ගේ භාරතීය ජනතා පක්ෂය යි.


ශ්‍රී ලාංකීය දේශපාලන නායකයින්ගේ එක්ස් පණිවිඩවලට නරේන්ද්‍ර මෝදි ප්‍රතිචාර දක්වයි


ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක් නරේන්ද්‍ර ජයග්‍රහනයට සුබ පතමින් නිකුත්කළ එක්ස් පණිවිඩවලට නරේන්ද්‍ර මෝදි ප්‍රතිචාර දක්වා තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්ස් පණිවිඩයේ සඳහන්කර තිබුණේ මෝදි අගමැතිවරයාගේ නායකත්වය යටතේ ප්‍රගතිය සහ සමෘද්ධිය පිළිබඳව ඉන්දීය ජනතාවගේ විශ්වාසය ප්‍රදර්ශනය කරමින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය අත්කරගෙන ඇති බවයි.

සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන්කර තිබිණි.

නරේන්ද්‍ර මෝදි ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන්කර තිබුණේ, ඉන්දියා ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තමන් අපේක්ෂාකරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ එක්ස් පණිවිඩයේ සඳහන්කර තිබුණේ, ඉන්දියාව සඳහා විශාල තීරණවල නව පරිච්ඡේදයකින් සහ ඉන්දියාවේ "අසල්වැසි පළමු ප්‍රතිපත්තියේ" තවත් පරිච්ඡේදයකින් ආශ්වාදයක් ලැබීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවයි.

ශ්‍රී ලංකාව සමග ඇති සබඳතාව අද්විතීය, සුවිශේෂී සහෝදරත්වයක් බව ඊට ප්‍රතිචාර දක්වමින් නරේන්ද්‍ර මෝදි සඳහන්කර තිබිණි.

ඔහු විපක්ෂ නායකවරයාට දැක්වූ ප්‍රතිචාරයේ සඳහන් වූයේ, අසල්වැසි පළමු ප්‍රතිපත්තියට අනුකූලව නොබිඳිය හැකි බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂ කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ත් මෝදි අග්‍රාමාත්‍යවරයාට සුබ පතා තිබේ.

ඔහු පවසා තිබුනේ, තුන්වන ධූර කාලයක් සඳහා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයෙන් පසුව ලබා ගත් අවස්ථාව පිළිබඳව නරේන්ද්‍ර මෝදි සිය මිතුරාට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බවයි.

ඉන්දියාවට සේවය කිරීම සඳහා ඔහුගේ ඇති දැක්ම සහ කැපවීම පිළිගනිමින් ජනතාව ප්‍රතිචාර දක්වා ඇති බවත් නව රජය සමඟ සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවත් මහින්ද රාජපක්ෂ ගේ එක්ස් පණිවිඩයේ සදහන්.

මේ නරේන්ද්‍ර මෝදි ඊට  ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ, ''ඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි, මහින්ද රාජපක්ෂ මගේ මිත්‍රයා.

ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය නව මායිම් ප්‍රස්ථාරගත කරන බැවින්, ඔබේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වනවා'' යනුවෙනි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, නරේන්ද්‍ර මෝදි ට සුබ පතමින් නිකුත් කළ එක්ස් පණිවිඩයේ දැක්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ශිෂ්ඨාචාරමය බැඳීමක් හුවමාරු කර ගන්නා බවයි.

අන්‍යෝන්‍ය සාර්ථකත්වය සඳහා හවුල් අරමුණු හඹා යන විට මෝදි අගමැතිවරයා සමග සමීපව කටයුතු කිරීමට තමන් අපේක්ෂාකරන බව සරත් ෆොන්සේකා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සමඟ සිය සබඳතාව විශේෂ බවත් එය තවදුරටත් ගැඹුරු කිරීමට සහ ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ දිගටම කටයුතු කරන බවත්
ඊට මෝදි දැක්වූ ප්‍රතිචාරයේ සඳහන් වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්