කොපමණ බාධා කුමන ආකාරයකින් උද්ගත වුව ද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05) පැවසීය.


ඒ ඉකුත් වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කීපයක් යළි විභාගයට ගත් අවස්ථාවේදීය.

පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනුණි.

''පළාත් පාලන ඡන්ද අඩාල කිරීමට හිතාමතාම කටයුතු කරලා'' -ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කරුණු දක්වමින් පැවසූවේ, පළාත් පාලන ඡන්ද විමසීම නියම කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබූ බවයි.

නමුත් ඡන්දය පැවැත්වීමට මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වයන්ගෙන් බේරීමට රජය විසින් මැතිවරණ කොමිසම වෙත චෝදනා එල්ල කළ බව ද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළේය.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව සියලු තීරණ ගනු ලැබුවේ මැතිවරණ කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ එකඟත්වයෙන් බව ද ඔහු පැවසීය.

එමෙන්ම් විධායකය හිතාමතාම පළාත් පාලන ඡන්ද විමසීම අඩාල කිරීමට කටයුතු කළ බවට ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

 

‘ඡන්දෙ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නෑ’ යනුවෙන් සිදුකළ ප්‍රකාශය තුළින් විධායකය දැරූ අත්තනෝමතික භාවය මනාව පැහැදිලි වන්නේ යැයි ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේය.

 

සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙනී සිටියේය.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් පෙනී සිටියේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ පෙනී සිටියේය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබේ. 

එම පෙත්සම් විභාගය අද අවසන් කිරීමට නියමිතය. ඒ අනුව අද දින නැවත පෙත්සම් විභාගය සිදු කෙරේ.

(divaina.lk - ඒ. ජේ. ඒ. අබේනායක)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්