මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රොයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ

නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බල රහිත බව තීන්දුවේ සඳහන් විය.

එයට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. එසේම අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් හිටපු ජනාධිපතිවරයාට තවත් නියෝගයක් නිකුත් කෙරිණි.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කළේය.

එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින් එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළහ.

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්