අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට යයි.


ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන සමඟ එක්ව පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසයි.

තෙත් බිම් සංරක්ෂණයත්, තෙත් බිම් ආරක්ෂා කිරීම, ඒ හා බැඳී පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ඒ තුළින් පරිසරයේ සමතුලිත බව ඇති කිරීම, පරිසරයට එල්ල වී තිබෙන ගෝලීය අභියෝගයන් සඳහා ආදර්ශමත් රටක් ලෙස මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සියළු දැනුම ඒකාරාශී කරන වැඩපිළිවෙලක් සකස් කිරීම මේ පොදු සම්මූතිය හරහා බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (10) දින සහභාගී වෙමිනි.

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ සමුළුවක් : ජූනි 17 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

මෙම සමුළුව ජූනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල, දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරයි.

ලොව පුරා රටවල් 15 ක තෙත්බිම් උද්‍යාන 70 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 100 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වෙති. ශ්‍රී ලංකාව, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, තායිවානය, එක්සත් රාජධානිය සමුළුවට සම්බන්ධ වන රටවල් 15 වේ.

"පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සදහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථාන" යන්න මෙවර සමුළුවේ තේමාවයි. තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම සමුළුවේ අරමුණයි.

තෙත්බිම් විනාශ කරන්නන්ට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා -  ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය

තෙත් බිම් ආරක්ෂා කිරීමේ වගකීම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පැවරී තිබෙනවා. තෙත් බිම් ආශ්‍රීතව සිදුවන පරිසර විරෝධී ක්‍රියාකාරකම් පාලනයට දැනට පවතින නීති රීති යටතේ ගත හැකි ගත යුතු උපරිම ක්‍රියාමාර්ග අප ආයතනය ගනිමින් සිටිනවා. තෙත් බිම් විනාශ කරන්නට එරෙහිව අපි උපරිම නීතිය ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා. තෙත් බිම් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ගෙන යාමේදී ආයතනයක් ලෙස අපට තනිවම කටයුතු කිරීම අපහසු කාර්යක්. ඒ සඳහා මේ රටේ ජනතාවගේ සහයත් අවශ්‍ය වෙනවා. තෙත් බිම් හරහා පාරිසරික ගැටළු රැසකට විසදුම් හිමිවෙනවා. ගංවතුර පාලනය සඳහාත් තෙත් බිම් උපකාරි වෙනවා. 39% වැඩි ප්‍රමාණයක් ජලය රඳවා ගැනීමේ ධාරිතාවයක් ඒ මගින් ලැබෙනවා. තෙත් බිම් සංචාරක ව්‍යාපාරයට යොදා ගනිමින් ආර්ථිකයට ශක්තියක් ලබා දීමට වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.


අපට විශාල වගකීමක් පැවරී තිබෙනවා - බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත්හේවා පතිරණ

2018 වසර වනවිට ලෝකයේ තෙත් බිම් අගනගර අතරින් අංක එකට පත්වන්නේ කොළඹ අගනගරයයි. ස්වභාවික ආපදා වලින් ආරක්ෂා වීමට සහ ජෛව විවිධත්වයෙන් තිරසර සංවර්ධයක් සඳහා කටයුතු කිරීමේදී විශාල පිරිවැයක් දරන්නට අපට සිදුවුණා. මෙම රැම්සා තෙත් බිම් හරහා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන්නේ කොහොමද යන්න අපට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ලංකාවට පැමිණෙන සියළුම පරිසරවේදීන් සඳහා සම්පූර්ණ අනුග්‍රහක දායකත්වය ලබා දීමට අප ඉදිරිපත් වෙනවා. බස්නාහිර පළාතේ සංචාරක කලාප අපි විවිධාංගයකට ලක් කර තිබෙනවා. ඒ හරහා විදේශ විනිමය අර්බුදයට විසදුමක් ගෙන ඒමයි අපගේ අපේක්ෂාව වී තිබෙන්නේ. එම පරිසරවේදීන් හරහා මෙරට තෙත් බිම් පිළිබඳව ලෝකයාට ප්‍රචාරයක් ලබා දීමට අපි අරමුණු කරගෙන සිටිනවා.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තෙත්බිම් කළමනාකරණ) ආචාර්ය එල්.එස්.විජේරත්න

බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හීදි සමුළුව ජුනි 17 වැනිදා ආරම්භ වෙනවා. එදින සිට පුරා දින 02 ක් වෝටර්ස් ඒඩ්ජ් හෝටලයේ විශේෂ අධ්‍යයන සැසිවාරයක් පැවැත්වෙනවා.

 

* 17  වන දින සවස් වරුවේ සමුළු නියෝජිතයින් දියසරු තෙත්බිම් උද්‍යානයේ රාත්‍රී සංචාරයක යොදා යෙදෙන අතර තෙත්බිම් ආශ්‍රිත නිශාචර සතුන් නැරඹීම මෙහි අරමුණයි.

* 18 වන දින උදෑසන දියසරු උද්‍යානයේ කුරුල්ලන් නැරඹීමේ වැඩසටහනක් ද , එදින ම සවස මාදිවෙල වෙල් යාය ආශ්‍රිතව කණාමැදිරියන් නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබෙනවා.

* ජූනි 19 වන දින  මෙම තෙත් බිම් නියෝජිතයෝ තලංගම වැව ආශ්‍රිත කුරුල්ලන් නැරඹීමේ වැඩසටහනකට ද එක් වෙනවා. බැද්දගාන තෙත් බිම් උද්‍යානය ද මෙහිදී විදේශීය නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කිරීමට අපි අපේක්ෂා කරනවා.

* ජූනි මස 21 වන දින දියසරු තෙත් බිම් උද්‍යානයේ 10 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සහ

* ජූනි 21 වන දින කොලඹ කොටුව සිට සීතාවක දක්වා (සීතාවක ඔඩිසි) විශේෂ දුම්රිය සංචාරයක් ද සංවිධානය කර තිබෙනවා.

නාගරික හදුන් දිවියා නිරික්ෂණය කිරීමේ වැඩසටහන මගින් සංවිධානය කරන දියසරු උද්‍යානයේ රාත්‍රී නිරීක්ෂණ චාරිකාවේදී මෙම තෙත්බිම් නියෝජිතයන්ට පයින් හා බෝට්ටු මගින් ගොස් දියසරු උද්‍යානයේ ස්පර්ශ නොකළ ප්‍රදේශ ගවේෂණයට ඉඩ සලසා තිබෙනවා.



ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ පරිසරවේදී රණුෂී සිරිපාල මහත්මිය,

දියසරු උද්‍යානය 10 වන සංවත්සරය සමරනු ලබනවා. එය ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පාලනය යටතේ ක්‍රියාත්මකය. එය අක්කර 60 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබෙනවා. මුලින් කුඹුරු යායක් වූ මෙම පරිසර පද්ධතිය 1970 දශකයේ පාර්ලිමේන්තු වැව ඉදිකිරීමෙන් කැනීම් කරන ලද ද්‍රව්‍ය සමග තෙත් බිමක් බවට පත්වුණා. දියසරු තෙත්බිම් උද්‍යානය මේ වන විට විවිධ තෙත්බිම්වාසීන් සදහා අභයභූමියක් ලෙසත් තීරණාත්මක ගංවතුර රැදවුම් ප්‍රදේශයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා.

මෙම උද්‍යානය තුළ පක්ෂි විශේෂ 148 ක් (සංක්‍රමණික 50), මත්ස්‍ය විශේෂ 15 ක්, සමනල විශේෂ 40 ක්, බත්කූරු විශේෂ 28 ක්, උරග විශේෂ 28 ක් හා ක්ෂීරපායී විශේෂ 07 ක් ඇතුළු සත්ත්ව විශේෂ 250 ක් පමණ සිටිනවා. නාගරික හදුන්දිවියා වාසය කරන ස්ථානයක් ලෙස ද මෙම උද්‍යානය හදුනාගෙන තිබෙනවා.

(සටහන : ප්‍රදීප් අනුර කුමාර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්