අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අතුරුදහන් වී ගාලු දිස්ත්‍රික්කයේ පොලිසියකින් සොයාගනු ලැබූ පුද්ගලයකුට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා

රටේ ප්‍රධානම නීති නිලධාරියාට පැමිණිලි කළ දාට පසු දිනම පැමිණිලිකාර මාතාවට මරණ තර්ජනයක් එල්ල වී තිබේ.

‘පවුල් පිටින් විනාශ කරන’ බවට එම තර්ජනය කර ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් දින විසි පහක කාලයක් සිය පුතු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට පැමිණිල්ලක් ගොනු කළ මවකටය.

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම ශ්‍රී ලංකාව තුළ අපරාධයක් බවට නීතිගත වු පසු එම සම්මුතිය යටතේ ඉදිරිපත් කළ පළමු පැමිණිල්ල ලෙස කපිල කුමාරගේ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිට පැමිණිලි කිරීමට මුලික වු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ කපිල කුමාරගේ මවට එල්ල වු ජීවිත තර්ජනය සිය කමිටුව තරයේ හෙලා දකින බවයි.

මේ  වසරේ මාර්තු 27 වැනිදා  සවස ආහාරය සදහා පාන් ගෙඩියක් රැගෙන ඒමට කඩයට ගිය අවස්ථාවේ හොරොව්පතාන පොලිස් බල ප්‍රදේශය තුලදී කපිල කුමාර අතුරුදහන්ව ගිය අතර කුමුදුනී ජයසේකර මාතාව මීට ඉහත දී හෙළි කර තිබුනේ පැහැරගෙන ගොස්  අතුරුදහන්කර සිටි සිය පුතු දින 25කට පසුව අප්‍රේල්  21 දින රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් පිටිගල පොලීසියට භාර දී තිබු බවයි.

“ඔහු ආගිය අතක් සොයා ගැනීමට උත්සාහයන් ගණනාවක් දැරුවත්, ඔහුට අත්වූ ඉරණම හෝ ඔහු ගෙනගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව හෝ සම්බන්ධ කිසිදු තොරතුරක් ඔහුගේ පවුලේ උදවියට ලැබී නැත. ද සිල්වා මහතා බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දකුණු පළාතේ, ගාලු දිස්ත්‍රික්කයේ පිටිගල පොලිස් ස්ථානයෙන් 2024 අප්‍රේල් 20 වැනිදා හමුවන තුරුම මේ අවිනිශ්චිත බව හා බිය දිගටම පැවතුනි,” යි නීතිපතිවරයාට  කරන ලද පැමිණිල්ලෙන් විස්තර කර ඇත.


පැහැරගෙන ගොස් රහසිගතව රඳවාගෙන සිටියදී සන්නද්ධ පිරිසක් කපිල කුමාරට වධහිංසා කළ බවද මරා දමන්නට වෑයම් කළ බවද නීතිපතිවරයාට දී ඇති පිටු 20 කින් යුත් පැමිණිල්ලේ සඳහන් වෙයි.


දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් අයකු ‘කවුරුත් දන්නේ නෑ සර් මූව ගත්ත කියල... මෙහෙම්ම ගහල දාමු.. කිසිම කෙනෙක් දැක්කේ නැහැ අපි මූව ගන්නවා,’ යි පැවසු බව එහි දැක්වේ.

එම අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මෙන්ම කුමුදුනී ජයසේකර මාතාවත් දිගින් දිගටම චෝදනා කර තිබුනේ පොලිස් විශේෂ බලකාය (STF)ටයි.

මෙම බලහත්කාර අතුරුදහන් කිරීමට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) විසින් පසුගිය ජුනි13 වැනිදා නීතිපතිවරයා වෙත 2018 අංක 5 දරන බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුනි.

සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව පවසන්නේ නීතිපතිවරයාට පැමිණිල්ල සිදු කළ දිනට පසුදින වු ජුනි 14 වැනි සිකුරාදා  මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 28 කට පසු මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබී ඇති අතර ඒ හරහා ඇමතූ පුද්ගලයා "නඩු දැම්මට අපි බය නෑ. උඹලගෙ පවුල් පිටින් විනාශ කරනවා" යනුවෙන් කපිල කුමාරගේ මවට තර්ජනය කර ඇති බවයි.

ඉන් අනතුරුව මෙම තර්ජනය පිළිබඳව ඇය විසින් ජුනි 15 වැනි දින අහංගම පොලීසිය වෙත CIB 5 285/109 දරණ පැමිණිලි අංකය යටතේ පැමිණිලි කර ඇති බව, සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතීඥ සේනක පෙරේරා ගේ සහ සභාපති සුදේශ් නන්දිමාල්ගේ අත්සනින් යුතුව ජුනි 15 වැනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ය.

සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව සදහන් කරන්නේ  0775379878 දරණ දුරකථන අංකයෙන් මෙම ජීවිත තර්ජනය සිදුකර ඇති බවයි.

මෙම ජීවිත තර්ජනය පිළිබඳව පැමිණිලි කිරීමට කපිල කුමාරගේ මව අහංගම පොලීසියට ගොස් සිටි අවස්ථාවේද මෙම අංකයෙන්ම දුරකථන ඇමතුමක් පැමිණ ඇති අතර එයට පිළිතුරුදීමේදී ඇමතුම ලබා දුන් පුද්ගලයා විසින් ඇමතුම විසන්ධි කර ඇති බවත් එම නිවේදනයේ තව දුරටත් සදහන්ය.


සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව පවසන්නේ 2018 අංක 5 දරන ජාත්‍යන්තර සම්මුතිය යටතේ සිදුකළ පළමු පැමිණිල්ල ද මෙය වන අතර මෙම සම්මුතිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූවක් වන අතර ශ්‍රී ලංකාවද එය ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බවයි.

 

ජාත්‍යන්තරයම බලාසිටින නඩු කටයුත්තකට මෙවැනි ආකාරයෙන් සිදුකරන පහත් බලපෑම් හේතුවෙන් රටක් ලෙස ශ්‍රී ලංකාවට එල්ල විය හැකි චෝදනාද තවත් ත්‍රීවෘර කල හැකි බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ  අදහසයි.  

“එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (SLAP) හේතුවෙන් ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවද  දැඩි අවධානයෙන් සිටී. එවැනි අවස්ථාවක සිදුවන මෙවැනි සිදුවීම් හරහා සහ එවැනි සිදුවීම් සිදු කරන්නට දන්ඩමුක්තිය ලැබෙන්නේ නම් එය ද අනාගතයේ ශ්‍රී ලංකාවට දැඩි ගැටලු රැසකට මුහුණ දීමට හේතු සාධක විය හැකිය.”

මෙවැනි තර්ජනයන් නීතියට ඇති ප්‍රවේශය අවහිර කිරීමේ නින්දිත උත්සාහයන් ලෙස පෙන්වා දෙන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) රජයට සිහිපත් කරන්නේ මෙවැනි සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවයි.  

“මේ හේතුවෙන් සියලු පුරවැසියන්ට නීතියට ඇති ප්‍රවේශයක් ඇති බවත් එය සමානව සියලු දෙනාටම බුක්ති විඳීමට හැකියාව ඇති බවත් මේ සිදුවීමට නීතිය ක්‍රියාත්මක කරවීමට මැදිහත් වීම හරහා රජය ඔප්පු කර පෙන්විය යුතු බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අදහස වේ.”


මාධ්‍ය නිවේදනය මගින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රජයෙන් තව දුරටත් ඉල්ලා සිටින්නේ කපිල කුමාරගේ මවට එල්ල වු මරණීය තර්ජනයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීම කරන ලෙසයි.

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්