වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින්

අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇත.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.

මෙම ඇප ඉල්ලීම අද (ජුලි 01 වැනිදා) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බලන ලදි.

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට එරෙහිව නියම කර ඇති දඬුවමට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

ඇයට නියම වී තිබෙන දඬුවමේ ස්වභාවය හා ඇයට දරුවන් තුන් දෙනෙකු සිටීම යන කරුණු සලකා බලා ඇයව ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම පිළිබඳව ජුලි 4 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම්

 '‘බන්ධනාගාරගත කළ යුතු වරදක්’'


දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් (ජුනි 28 වැනිදා) බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් අද (ජුනි 28 වැනිදා) බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබීය.

චෝදනා 18 කට වරදකාරිය

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20000 බැගින් දඩ ද නියම කෙරුණි.

දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් එක් චෝදනාවට මාස 6 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.

‘බන්ධනාගාරගත කළ යුතු වරදක්’

නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරජා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කරන බව ය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත් හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළේය.

විත්තිකාරිය කර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව ඔහු පැවසීය.

‘ස්වාමීනි... මෙම විත්තිකාරිය සිදුකර ඇති වරදවල් වල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල අයුතු ලෙස පාවිච්චි කොට සාමාන්‍ය වෙළෙඳ සැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල ආරවුල් විසඳීමට කටයුතු කර තිබෙනවා. එය සුළුවෙන් තකන්න බෑ. විත්තිකාරිය මහජනයා විශ්වාසය තබා තෝරා පත් කරන ලද තැනැත්තියක්. ඇයට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඇය විසින් සිදු කර තිබෙන්නේ බරපතල වරදක්’ යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.


වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ‘ස්වාමීනී... අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට හෝ විත්තිකාරියකට දඬුවම් නියම කිරීමේ මූලධර්ම තිබෙනවා. මුලින්ම මේ විත්තිකාරිය කර තිබෙන වරදවල් වල ස්වභාවය කෙසේ දැයි සලකා බැලිය යුතුයි. ඒ අනුව ඇයට සිර දඬුවම් නියම කරනවාද? එසේ නැතහොත් නියම කළ සිර දඬුවම අත්හිටුවනවාද? යන්න තීරණය කළ යුත්තේ අධිකරණයයි. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් මෙම වරද සිදු කර තිබෙනවා. ඇය විසින් සිදු කර තිබෙන්නේ බරපතල වරදක්. ඒ නිසා ඇය අනිවාර්යෙන්ම බන්ධනාගාර ගත විය යුතු ආකාරයේ දඬුවමක් නියම කළ යුතු යැයි මා ඉල්ලා සිටිනවා. එසේම එම දඬුවම අත් හිටුවීම නොකළ යුතු බවත් මා ඉල්ලා සිටිනවා. මොකද විත්තිකාරියට තමන් වරදක් සිදුකළ බව දැනෙන ආකාරයේ දඬුවමක් නියම විය යුතුයි. එසේම එය සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ දඬුවමක්ද විය යුතුයි. ඊට අමතරව විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ඉදිරියේදී ගමන් කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පණිවිඩයක් ලබාදිය හැකි ආකාරයේ දඬුවමක් ලබාදිය යුතුයි. එසේම නීත්‍යානුකූලව ජීවත්වන පුද්ගලයින්ට නීතියේ රැකවරණ ලැබෙන බව හැඟවෙන ආකාරයේ දඬුවමක් ඇයට ලබාදිය යුතුයි’ යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිකාරිය බන්ධනාගාරගත වන ආකාරයේ දඬුවමක් ලබාදිය යුතු බවත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ‘ස්වාමීනී... මෙම විත්තිකාරිය ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක්. සමාජ අකටයුතුකම් සිදුවන අවස්ථාවලදී ඇය පෙරට විත් ඊට එරෙහිව පෙනී සිට තිබෙනවා. මෙම විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස් වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටිනවා. ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවනවා’ යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා බන්ධනාගාර ගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු වරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.
සිර දඬුවම් නියම කිරීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැණුනි.

ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීහූ විසින් ඇය කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙනු ලැබුණි.

මෙම දඬුවමට එරෙහිව ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරු සඳහන් කළහ.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණි.

(BBC සිංහල සේවය)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්