ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශන සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන හා නිලධාරීන්හට ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක වීම සියයට හැත්තෑවක්ම අතපසු කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.


මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශන කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ වගකිව යුතු ආයතන වෙත ලබා දෙන බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ සියයට තිහක පමණ ප්‍රතිශතයකින් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය ගිහාන් ගුණතිලක පැවැසීය.‍

1996 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ පනතකින් ස්ථාපිත කළත් වසර තිහකට ආසන්න කාලයකට එම පනත සංශෝධනය වී නොමැති බවද අධ්‍යක්ෂවරයා කීවේය.

 

පසුගිය මැයි මාසයේදී කාන්තා අයිතිවාසිකම් හා හිංසනයන් සම්බන්ධ කාන්තා සවිබලගැන්වීමේ කොමිෂන් සභාව ස්ථාපිත කළ බවත් එම කොමිෂන් සභා පනත මගින් එම කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොවීමට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමේ බලතල ලබාදී ඇති බවත් සඳහන් කළ ආචාර්ය ගිහාන් ගුණතිලක එම පනතට සාපේක්ෂව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බලතල ද වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද කීවේය.

 

තම විමර්ශනවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පසුගිය 2022 වසරේදී නිර්දේශ අසූනවයක් සිදුකර ඇතත් එම වසරේදී නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පාර්ශ්ව විසි අටක් පමණි. එසේම පසුගිය 2023 වසරේදී නිර්දේශ 72 ක් සිදුකර ඇතත් ක්‍රියාත්මක කර ඇති නිර්දේශ ගණන 15 කි. එසේම මේ වසරේදී නිර්දේශ 17 ක් සිදුකර ඇති අතර ඉන් ක්‍රියාත්මක වී ඇත්තේ එක් නිර්දේශයක් පමණි.

2024 මාර්තු 31 වැනිදා වන විට මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිලි හත්දහස් හත්සියයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.


aruna.lk- එෆ්. අස්ලම්

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්