ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (02)  විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බවත් එය පසුගිය වසර දෙක තුළ බිලියන 100 දක්වා වැඩි වූ බව පැවසීම අසත්‍යක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දී සඳහන් කළේය.

ණය පිළිබද දැනට ඇතිකරගෙන ඇති එකඟතා සහ ඒවායේ ප්‍රගතිය ගැන ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අද පාර්ලිමේන්තුව කැඳවා තිබිණි.

එහිදී අනුර කුමාර දිසානායකගේ අනුගාමිකයෙකු සමාජ මධ්‍යයේ පළ කළ බව කියන ප්‍රකාශයක් පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේය.

 

''අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා ඩොලර් බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. පහුගිය අවුරුදු දෙකේ අපි බිලියන 100ක් දක්වා ණය ගත්ත බවත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත්කළාට පස්සේ කිසිම රටක් ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. ඉතිං මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? කිසිම රටක් ණය දෙන්නේ නැති නම් මම කොහොමද ණය ගන්නේ? මම එංගලන්තයේ මහ බැංකුව කඩන්න ද? ඒක මම දන්නේ නෑ. දැම්ම පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක ගැන'' යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේය.

 

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත්, කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් ඔහු පැවසිය. 

මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම ඔස්සේ යමින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙන ආකාරය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කළේය.

 ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වන අතර එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බව ජනාධිපතිවරයා පැවසිය.

 

කිසිදු කැපකිරීමක් නොකර විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවට බොහෝ දෙනා යෝජනා කළත් එය ප්‍රායෝගික නොවන අතර ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එවැන්නක් සිදුකළ නොහැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ණය හිමියාට හෝ ණය ගැතියාට නොවන අතර ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානය විසින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක ණය තිරසරභාවය ඇති කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යුහගත සැලැස්ම තීරණය කරන්නේද IMF සංවිධානය බවද සඳහන් කළේය.

මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශ්ලේෂණ රාමුව භාවිත කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ මුල්ම මැදි ආදායම්ලාභී රටවල් අතරින් එකක් බවට ශ්‍රී ලංකාව පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයේදී තවදුරටත් පැවසිය.

වත්මන් භූ දේශපාලනික ප්‍රවණතා ඇතුලු අභියෝග හා දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවද IMF වැඩසටහන ආරම්භ වී මාස 15ක පමණ කෙටි කාලයක් තුළ ද්වීපාර්ශ්වික නිල ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් එතරම් කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම සුවි‍ශේෂී ජයග්‍රහණයක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවයන් මත ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කිරීමට හැකි වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇ. ඩො බිලයන 05ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවයන් හමුවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩ නැඟීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්ෂකයන් ඇති කිරීම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මඟින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීමට අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට හැකි වන බව ජනාධිපත් රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 

මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වුවත් එය තමන් බලයට පත් වන විට ඇ. ඩො. බිලියන 71ක් වූ බව මෙන්ම එය මේ වන විට ඇ. ඩො බිලියන 100ක් දක්වා ඉහළ දමා ඇති බවට ව්‍යාජ සංඛ්‍යා දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අනුගාමිකයින් පහත් අපහාස සිදු කරන තත්ත්වයට පත්ව ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

 

ණය හිමියන් සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවට ද්වීපාර්ශ්වීය විදේශ ණය ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමඟ නැවතුන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය 

 විදේශ ණය ආධාර එදිනෙදා ආහාර අවශ්‍යතාව පිණිස මෙන්ම, වැටුප් වැඩි කිරීමට, රජයේ රැකියා ලබා දීමට, ආහාර ද්‍රව්‍ය විදුලි බලය වැනි දේ අඩු මිලට ලබා දීමට සහ රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවීමට යොදා ගැනීම නිදහසින් පසුව ශ්‍රී ලංකාව සිදු කර ගත් ප්‍රධාන වරදක් බව ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ තමන් බලයට පත් වූ පසු ලබා දෙන සහන පිළිබඳව දහසක් පොරොන්දු දෙමින් සිටියත් ඒ සඳහා මුදල් උපදවා ගන්නා ක්‍රමය පිළිබඳ වචනයක් හෝ කතා නොකරන බව ඔහු කියා සිටියේය.

 

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් රාජ්‍ය සේවාවන් සඳහා වැඩි මුදලක් වැය කිරීමට අවකාශය සැළසෙන බවත් දේශීය පොළී අනුපාතය තව දුරටත් පහළ හෙළීමට ඉඩ ලැබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවී නැති බැවින් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පළක් නැති බව ඇතැමුන් ප්‍රකාශ කළත් එය නිවැරදි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම මෙන්ම මෙරට ආර්ථික දර්ශක පදනම් කර ගනිමින් නිසි අවස්ථාවේ මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන කටයුතු කරනු ඇති බව සඳහන් කළේය.

රට තිබෙන තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාමට ඇති එකම මාර්ගය වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය සමය තුළ රටක් ලෙස ලැබූ ජයග්‍රහණ මඟින් එය යළිත් තහවුරු කර ඇති බව සඳහන් කළ අතර කවුරු බලයට පැමිණියද ආපසු හැරීමක් ‍නොමැති බවද අවධාරණය කර සිටියේය.

 

තමන් තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ දේශපාලන ජනප්‍රියතාව වෙනුවෙන් නොවන බවත් සියලු බේද පසෙකලා රට යළි ගොඩ නැංවීමේ ව්‍යායාමයට එක් වන ලෙස සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටින  බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළවෙල පිළිබඳ එල්ල කළ සියලු විවේචන මේ වන විට අතාර්කික වී ඇති බව පැවසු ජනාධිපතිවරයා, තමන් භාර ගත් අභියෝගය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලු ජන කොටස්වලට සිය කතාවේදී කෘතඥතාව පළ කර සිටියේය.




worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්