යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන්ට රට තුළ යුක්තිය

ඉටු නොවන බව දිගින් දිගටම පෙන්වා දෙන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ යෙදී සිටින දෙමළ මෑණිවරුන් යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් කරන අරගලයේදී පලදායී දායකත්වයක් ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ප්‍රජාව කෙරෙහි කනස්සල්ල පළ කර තිබේ.

ජුනි මස අවසන් සතියේදීත් ජුලි මස මුල් දිනයේත් උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක අටේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය ඉල්ලා විරෝධතා අටක් දියත් කළ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් එක් හඩින් කියා සිටියේ තමන් යුක්තිය ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් පමණක් බවයි.

ජුනි 25 වැනිදා කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට දී දියත් කළ විරෝධතාවයට නායකත්වය ලබා දුන් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ කිලිනොච්චි දිස්ත්‍රික් සභාපතිනි කෝකිලවානී කදිරගාමනාදන් අවධාරණය කළේ යුක්තිය ඉල්ලා අරගලයේ යෙදී සිටින දෙමළ මව්වරුන් ශ්‍රී ලංකා රජයෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බවයි.

“අපේ නෑදෑයන් හමුවන තුරු අපේ අරගලය අඛණ්ඩව ගෙනියනවා. අපේ පණ තිබෙන තාක් අපේ අරගලය දිගටම පවතිනවා. අපි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් අපිට ගෙවීම් හෝ අපේ ඥාතීන් ඉල්ලන්නේ නැහැ. ජාත්‍යන්තරයෙන් තමයි අපේ ඥාතීන්ව ඉල්ලන්නේ. ජාත්‍යන්තර ප්‍රජාව තමයි අපට සහ අපේ ඥාතීන්ට යුක්තිය ලබලා දෙන්න ඕන.”


බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් දිස්ත්‍රික් සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී ජුනි 26 වැනිදා මුලතිව්හිදී පැවැති විරෝධතාවයට එක්වෙමින් අවධාරණය කළේ  උතුරේ දියත් කළ යුද්ධයේ දී තම ඥාතීන් විනාශ කිරීමට ශ්‍රී ලංකා රජයට උදව් කළ ජාත්‍යන්තරයෙන් තමන් යුක්තිය ඉල්ලා සිටින බවයි.  

 


‘ජාත්‍යන්තරය දන්නවා’

“අපේ ඥාතීන්ට මොකද වුණේ? අපේ ඥාතීන් ඉන්නවාද? නැද්ද ? ඔවුන් අපේ ඥාතීන්ට කළේ කුමක්ද? ඒ අයට දඩුවම් දීලා අපිට සාධාරණය ඉෂ්ඨ කරන්න ඕන. අපට ජාත්‍යන්තර යුක්තිය අවශ්‍යයි. යුද්ධයේ දී  අපේ ඥාතීන් විනාශ කරන්න ඔවුන් රජයට උදව් කළා. එයාලගෙන් තමයි යුක්තිය ඉල්ලන්නේ. ඔවුන් දන්නවා අපේ ඥාතීන් කොහේද කියලා. ඔවුන් තබා ඇත්තේ කොහේද? ”

උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරන්ජනී මාතාව  අඛණ්ඩ විරෝධයට දින 2687 ක් සපිරුනු  ජුනි 30 වැනිදා කිලිනොච්චියේ දී විරෝධතාවයක් දියත් කරමින් සදහන් කර තිබුනේද ශ්‍රී ලංකා රජය කිසි විටකත් තමන්ට යුක්තිය ඉටු නොකරන අතර මානව හිමිකම් වලට ගරු කරන ජාත්‍යන්තර ප්‍රජාව යුක්තිය ලබා දීම වෙනුවෙන් මැදිහත් විය යුතු බවයි.

“අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් යුක්තිය ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකා රජය කිසිවිටෙක යුක්තිය ලබා දෙන්නේ නැහැ. දෙන්න විදියකුත් නැ. ඒ නිසා මානව හිමිකම්වලට ආදරය කරන ඥාතීන් එකතු වෙලා අපට යුක්තිය ලබා දෙන්න ඕන. බුද්ධි අංශ වල විමර්ශන මැද්දේ තමයි අරගල කරමින් ඉන්නේ. ඩයස්පෝරාවේ ඉන්න අය සල්ලි පස්සේ යන්නේ නැතුව එකට ඉදලා යුක්තිය වෙනුවෙන් මේ සටන අතට ගන්න ඕන.”

 

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍රා මාතාව ජුනි 28 වැනිදා මන්නාරමේ විරෝධතායට නායකත්වය ලබා දෙමින් සඳහන් කළේ තම දරුවන්ට අත් කළ ඉරණම හෙළි කිරීමට අසමත් ආණ්ඩුව වසරින් වසර අලුත් කොමිෂන් සභා පිහිටුවමින් සිටින බවයි.  

 

“මේ ආණ්ඩුව අවුරුදු 14ක් තුළ කොමිෂන් සභා 14ක් ගෙනල්ලා තියනවා. සත්‍යය සමගිය සහ සංහිඳියා කොමිසම (TURC) මන්නාරමටත් ආවා. අපේ රටේ සත්‍යය තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. අපේ රටේ සමගිය තියෙනවද දන්නේ නැහැ. එසේ තිබුනානම් දෙමළ ජාතියට මෙවන් විපතක් ඇතිවෙන්නේ නැහැ. අපි ඉල්ලන්නේ ඔබට දීපු දරුවෝ, පවුල් පිටින් භාර වෙච්ච ළමයි, සුදු වෑන් වලින් උස්සගෙන ගිය ළමයිව තමයි අහන්නේ. මැරිච්චි දරුවන් ගැන නෙමෙයි.”

වසර පහලොවකට ඉහතදී සියතින්ම රජයේ ආරක්ෂක සේනාවලට බාර දුන් තම දරුවන් නොදැකම සියළුම දෙමළ මව්වරුන්ට දෑස් පියාගන්නට සිදු වේදැයි යන ප්‍රශ්නය බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ යාපනය දිස්ත්‍රික් සභාපතිනි සිවපාදම් ඉලන්කෝදෛ මාතාව ජුලි 1 වැනිදා යාපනයේ දී මතු  කර තිබුනේ හැඬු කදුලිනි.

“අපේ ළමයි ඔක්කොම මැයි 18 වෙනිදා බාර උනා. පවුල් පිටින්ම බාර උනා. බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් අයව පරීක්ෂණ කරලා නිදහස් කරනවා කියලා කිව්වට පස්සේ ෆැන්සිස් පියතුමා එක්ක 100 ට අධික ළමයි සහ දෙමව්පියෝ බාර උනා. වට්ටුවාහලයේදීත් බාර වෙන්න කිව්වා. පරීක්‍ෂණ කරලා නිදහස් කරනවා කියලා කිව්වා. අදට අවුරුදු 15ක් වෙනවා. අපි බයයි අපේ ළමයි බේරගන්න කලින් අපි මැරෙයි කියලා.”

ජුනි 27 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේත්, ජුනි 30 වැනිදා ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්ක තුලත් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධතා දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
OMP බලපෑම්
 
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපු  දිස්ත්‍රික් සභාපතිනි අමලනායගී අමලිරාජා මාතාව ජුනි 24 වැනිදා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට දී විරෝධතා සතිය ආරම්භ කරමින්, අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කර තිබුනි.

“ ශ්‍රී ලංකා රජය OMP කාර්යාලය ගෙනල්ලා, වන්දි ලබා දෙන බව කියලා ජනතාව රවට්ටලා ඒ ලිපිගොනු වසා දැමීමට වැඩටික හොරෙන් කරගෙන යනවා. මම OMP කාර්යාලයට  ලියාපදිංචි උනේ නැ. කොහෙන් හරි අපේ විස්තර අරන් ගිහින් කියනවා ඔයාගේ විස්තර ටික හමුඋනා කඩිනමින් ඇවිල්ලා ලියා පදිංචි වෙන්න කියලා. ඒ අහින්සක අම්මලාට මරණ සහතික ගත්තොත් විතරයි ආධාර ටික හම්බවෙන්නේ කියලා එයාලා අම්මලාට බලපෑම් කරලා මරණ සහතිකේ ගන්න කියලා දැනටමත් දුනින් ඉන්න අම්මලාව තව තවත් මානසික පීඩාවට ලක් කරනවා. බොරු OMP කාර්යාල අභ්‍යන්තර යාන්ත්‍රණයක් ගෙනල්ලා රවට්ටලා ආණ්ඩුව කාලය අදින වැඩ තමයි කරන්නේ.”

අමලනායගී අමලිරාජා මාතාව එහිදී තව දුරටත් සදහන් කර තිබුනේ දරුවන් සොයමින් වසර ගණනාවක් තිස්සේ අව්, වැසි නොතකා අඛණ්ඩ අරගලයේ යෙදී සිටින දෙමළ මව්වරුන් තම දරුවන්ට අත් වු ඉරණම නොදැනම අවසන් හුස්ම හෙළුවද තරුණ පරම්පරාව මෙම අරගලය ඉදිරියට ගෙන යන බවයි.

“ඥාතීන්ව සොයමින් සිටි 200 ට වැඩි අපේ අම්මලා අපිට අහිමිවෙලා. අපේ සාක්ෂි විනාශ වෙනවා. ඇසින් දුටු සාක්ෂි විදිහටයි අපි ඉන්නේ. අපිත් නැති වෙනකල් තමයි මේ කාලය ඇදගෙන යන්නේ. අපිත් නැති උනාම හඬ නගන්න කවුරුත් නැ කියලයි මේ ආණ්ඩුව සහ එයාලත් එක්ක වැඩ කරන අය හිතාගෙන ඉන්නේ. තරුණ පරම්පරාව මේක ඉදිරියට ගෙනයනවා.”

ljuadr35df

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්