නිබය, සරල මාධ්‍යවේදියකු ලෙස නම් දැරූ වෙඩිල්ලෙන් නිහඬ කෙරුනු නිමලරාජන් මයිල්වාගනම් මලින්, පහනින් 2025 ඔක්තෝබර් 19 ඉරිදා යාපනය මාධ්‍ය සමාජයේදී අනුස්මරණය කර ඇත්තේ දකුණේ සිට එහි ගිය සිංහල මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ ද සහභාගීත්වයෙනි.
එහෙත් දකුණේ වැඩි වශයෙන්ම සිංහලෙන් උතුර වාර්තා කළ නිමලරාජන් දකුණේ දී කිසිදු මාධ්‍ය සංවිධානයක් විසින් සැමරූ බවක් දැනගන්නට නැත.
විනාශකාරී යුද්ධයත්, එයින් පීඩා විඳින උතුරේ දෙමළ ජනකායත් පිළිබඳව යුද පීඩිත භූමියේ සිට දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ලෝකයේ අවධානය යොමු කිරීමට මාධ්‍යවේදි නිමලරාජන් මයිල්වාගනම්ට හැකිවිය.
හරය, බීබීසී සහ වීරකේසරී ඇතුළු ආයතන වෙත දෙමළ සිංහල දෙබසින්ම වාර්තා සැපයීමේ නිරත නිමලරාජන් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා මරා දමන ලද්දේ යුද පීඩිත ජනයා පිළිබඳව වීරකේසරී පුවත්පතට ලිපියක් ලියමින් සිටියදීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිදුකළ එම ඝාතනය සම්බන්ධයෙන් අදත් යුක්තිය ඉටුවී නැත.
ශ්‍රී ලංකා රජයේ හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුලදී මරා දමා විසි පස් වසරක් ගතවීත් යුක්තිය නොලද දෙමළ මාධ්‍යවේදි නිමලරාජන් මයිල්වාගනම්ගේ ඝාතනය පිළිබද විමර්ශන වල අසාර්ථකත්වයන් පරීක්ෂා කරන නව වාර්තාවක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී උතුරේදීත්, දකුණේදීත් එළි දක්වා තිබුනි.
දකුණු අප්‍රිකාව මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හා REDRESS ඒකාබද්ධව කර්තෘත්වය දරන නිලමරාජන් ඝාතනය පිළිබද විමර්ශන වල අසාර්ථකත්වයන් පරීක්ෂා කරන නව වාර්තාවේ දෙමළ පිටපත 2025 සැප්තැම්බර් 7 වැනිදා එළි දක්වා තිබුනේ යාපනය මාධ්‍ය සමාජයේදීය. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් එම වාර්තාව භාෂා ත්‍රිත්වයෙන්ම සැප්තැම්බර් 8 වැනිදා කොළඹදී එළි දැක්වීමට කටයුතු කළේය.
ඉකුත් සති අන්තයේ කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේදී එම වාර්තාව ජනගත කරන අවස්ථාවට නිමලරාජන්ගේ දියණියන් ඇතුළු එරට සිටින පවුලේ සාමාජික සාමාජිකාවන් මෙන්ම, චන්ද්‍රිකා පාලන සමයේදීම කොළඹදී ඝාතනය කරන ලද තරාකී නමින් ප්‍රකට ටැමිල්නෙට් කතුවර ධර්මරත්නම් සිවරාම් ගේ දියණියෝද එක්ව සිටියහ.
(ITJP) හා REDRESS සම කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත් කරන පිටු 64 කින් සමන්විත නව වාර්තාව බිබිසි හිටපු වාර්තාකරු නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් විමර්ශන පිළිබදව අධිකරණ විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කොට තිබේ.
එම වාර්තාව එළි දැක්වීමට සමගාමීව (ITJP) හා REDRESS ඒකාබද්ධව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කියා තිබුනේ ක්‍රමානුකූලව මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති ශ්‍රී ලංකාවේ 2000 ඔක්තෝබර් මාසයේ දී සිදු වූ බීබීසී යාපනය වාර්තාකරු නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයේ අසාර්ථකත්වය කෙරෙහි එම වාර්තාවේ අවධානය යොමු කර ඇති බවයි.
2000 සහ 2010 අතර සිවිල් යුද්ධය වාර්තා කිරීමේදී අවම වශයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ශ්‍රමිකයන් 44 දෙනකු මිය ගොස් ඇති අතර අද වන තෙක්, ඒවාට වගකිව යුතු කිසිදු අපරාධකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් එහි අවධාරණය කර තිබේ.
"මේ මට්ටමේ දණ්ඩ විමුක්තිය මගින්, නිතිපතා තම ජීවිත පරදුවට තබන, ස්වයං-වාරණයන් ක්‍රියාත්මක කරන හෝ පිටුවහල්ව සේවය කරන රටේ ඉතිරිව සිටින ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට බියකරු පණිවිඩයක් යවයි," යනුවෙන් දකුණු අප්‍රිකාව මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා පවසන්නීය.
මයිල්වාගනම් නිමලරාජන්ට සිය නිවස තුලදී අත් බෝම්බ ගසා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනු රජය සමග එක්ව සිටි ඊපීඩීපී අතුරු හමුදා කල්ලි සාමාජිකයන් 2003 දී වව්නියාවේ අධිකරණය විසින් නිදහස් කර යවන ලදී.
එම ඝාතනය සම්බන්ධයෙන් සෘජුවම සැකකෙරෙන ඊපීඩීපී ප්‍රබලයකු වන නැපෝලියන් යනුවෙන් ප්‍රකට සෙබස්තියන් පිල්ලේ රමේෂ් පොලිස් ප්‍රශ්න කිරීමකින් තොරවම රටින් පලාගොස් බ්‍රිතාන්‍යයේ රැකවරණ ලබා සිටින බව වාර්තා විය.
2017 දී ITJP සහ REDRESS විසින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විමර්ශනය කරන ලන්ඩන් අග නාගරික පොලිසියේ ත්‍රස්ත විරෝධී විධානය යටතේ ඇති විශේෂඥ ඒකකයකට කරන ලද කරුණු දැක්වීමකින් පසුව එක්සත් රාජධානියේ විමර්ශනය සිදු විය. මෙම යොමු කිරීම නිසා 2001 දී යාපනයේ පැවති දේශපාලන රැලියක් අතරතුර සිදු කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් තවත් අත්අඩංගුවට ගැනීමක් 2023 දී සිදු විය.
"මෙම සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ අදාළ රට ක්‍රියා කිරීමට අපොහොසත් වන විට, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු කරන අපරාධකරුවන් වගකිව යුතු බවට පත් කිරීම සඳහා එක්සත් රාජධානිය වැනි රටවලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි ආකාරයයි," REDRESS හි අධ්‍යක්ෂ රූපට් ස්කිල්බෙක් පැවසීය.






