සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අන්තවාදීන්ගේ ජාතිවාදී අදහස්වලට විරුද්ධව පෙනී සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන රම්සි රසික්,

කෝවිඩ් 19 වසංගතයේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ අදහස් පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් පසුගිය පාස්කු ප්‍රහාරයේදී අන්තවාදීන් හා ජාතිවාදීන් ගැටුම් ඇති කිරීමට ගන්නා උත්සාහයන් හෙළා දකිමින් අදහස් පළ කළ මෙම සමාජ ක්‍රියාකාරිකයා, කොරෝනා වසංගතයේදී ඇතැම් පුද්ගලයන් මුස්ලිම් අන්තවාදය වැපිරවීමටත් එහිදී සංවිධානාත්මකව මුස්ලිම් විරෝධයක් ඇවිලවීමටත් ගන්නා උත්සාහයන් කෙරෙහි විරෝධය පළ කරමින් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබිණ.

විශේෂයෙන් කෝවිඩ්19 වසංගතය තුළ පැතිර යන අන්තවාදය පරාජය කිරීමට ‘චින්තනමය යුද්ධයක්'(Ideological War) සඳහා ක්‍රියාකළ යුතු බව ඔහු එහිදී පවසා ඇත. 

‘දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත’ යටතේ චෝදනා !


මේ හේතුව මත ඔහු අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමේදී ‘දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත’ යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට අදහස්කරන බව පොලිසිය කරුණු දක්වා ඇත. 

කෙසේවෙතත්, සියලු අවස්ථාවල එවැනි නීති භාවිත කළ නොහැකි බව නීති අංශවලින් කරුණු දක්වා ඇත. සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර, යම්කිසි නෛතික කරුණු ඇත්නම් රම්සි රසීක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දී ඇත.

සමාජ මාධ්‍ය තුළ මෙන්ම පුවත්පත් හා ජනමාධ්‍ය තුළ අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරිතකයකු ලෙස කටයුතු කරන රම්සි, සිංහල, තමිල් හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කටයුතුකරන්නෙකි. 

මුහුණු පොතේ වැඩි වශයෙන් සිංහල බසින් අදහස් පළකරන ඔහුගේ ෆේස්බුක් පෝස්ටුවක් හේතුවෙන් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමට පෙරාතුව තමන්ට වෙත එල්ල වූ මරණ තර්ජන හා අපහාස සම්බන්ධයෙන් ඔහු විසින් ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

පහත පළ වන්නේ එම සටහනයි.

“චින්තන අරගලය ideological war සම්බන්ධයෙන් මම පලකල පෝස්ටුවත් සමගම අපගේ ප-ජාතිකවාදීන් සහ රට විරුවන් බොහෝ සේ කලබලයටත් කෝපයටත් පත්වී ඇති බව පෙනේ. ඔවුන්ගෙන් දිගින් දිගටම මට මරණ තර්ජන එල්ලවෙමින් තිබේ. කාලාන්තරයක් තිස්සේ දියත් වෙමින් පවතින සැලසුම් සහගත මුස්ලිම් විරෝදී ප්‍රචාරණයට එරෙහිව ප්‍රචන්ඩත්වයෙන් තොරව පෑන සහ කී-බෝඩය හසුරුවමින් මතවාදී අරගලයක නිරතවිය යුතු බවට මා දැක්වූ අදහස් සමහරුන්ට අනුව අන්ත ජාතිවාදී ප්‍රකාෂයක් වී ඇත.

සමහරු කෙලින්ම මට මරණ වරෙන්තු නිකුත් කරන අතරේ තවත් සමහරු මගේ පෝස්ටුව ජාතිවාදී පෝස්ටුවක් ලෙස අර්ථ දක්වමින් මාව අත්අඩංගුවට ගත යුතු බවට අදහස් දක්වති. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ මගේ කට වැසීමය. මෙවැනි තර්ජන ගර්ජන මුහුණු පොත තුළ මට හොඳින් හුරු පුරුදු ඒවා වන නමුත් මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පවතින පරිසරයක් තුල අපට තවදුරටත් කතාකිරීමට කිසිවක් ඉතිරිව නැති බව මගේ හැඟීමයි. අප පැතූ නිදහස් නිවහල් රටක සේයාවක් හෝ දකින්නට නැත.

දැන් තීරණයකට එලඹිය යුතු කාලය පැමිණ තිබේ.

මගේ පෝස්ටුවට ලැබුණු ප්‍රතිචාර සහ නානඳුනන පුද්ගලයන්ගෙන් ලැබුණු ඉන්බොක්ස් මැසේජ් දුටු මගේ වැඩිමහල් දුව කම්පනයටත් බියටත් පත් වී සිටී.

ඇයට දුන් පොරොන්දුවක් සහ මට ආදරය කරන තව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තවදුරටත් දේශපාලන හෝ ජාතික ගැටලු සම්බන්ධ කිසිදු පෝස්ටුවක් සිංහල භාෂාවෙන් පලනොකිරීමට තීරණය කලෙමි.

පියෙක් ලෙස මගේ දරුපවුලේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වීමට මා බැඳී සිටිමි. දැනුවත්ව මගේ දූදරුවන්ගේ ජීවිත අනතුරේ හැලීමට මට කිසිදු උවමනාවක් නැත.

(මට ජාතිවාදියා කියන අයට මීට පෙර අභියෝගයක් එල්ල කලෙමි. ඒ පසුගිය අවුරුදු 10 තුල මුහුණු පොතේ මගේ පෝස්ටුවක මා ජාතිවාදී වෛරී ප්‍රකාෂයක් සිදුකල එක් අවස්ථාවක් හෝ පෙන්වන ලෙසය. එම අභියෝගය තවදුරටත් වලංගු වන බව මතක් කරමින් මා නිහඬ වෙමි)”


(lankaviews.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්